ධර්මාශෝක සහ සාන්ත පැට්‍රික් විද්‍යාලවලට ජය

Annual Big Match 2025

49
Big Match 2025

වාර්ෂික මහා ක්‍රිකට් තරග වසන්තයේ තවත් තරග කිහිපයක් විවිධ ප්‍රදේශවල දී ඊයේ (8) අවසන් වූ අතර ඒ අතුරින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සුනිල සංග්‍රාම එක්දින තරගයේ ජයග්‍රහණත් සහ යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය විස්සයි විස්ස රන් සටනේ ජයග්‍රහණයත් වාර්තා කළා.

Battle the Blues

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මශෝක විද්‍යාලයට අතර 56 වැනි වරටත් පැවැති සුනිල සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමී ව පැවැති වාර්ෂික එක්දින සීමිත පන්දුවාර තරගයෙන් ධර්මාශෝක විද්‍යාලයට කඩුලු 5ක ජයග්‍රහණයක් හිමි වුනා.

අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ධර්මාශෝක විද්‍යාලයේ අරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී දේවානන්ද විද්‍යාලය ලබා ගත්තේ ලකුණු 144ක් පමණයි. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලය තරගය අවසන් වීමට තවත් පන්දු 131ක් තිබිය දී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී දේවානන්ද ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 31කට අහිමි වූ පසුව සිව් වැනි කඩුල්ල සඳහා රවිඳු ද සිල්වා සහ සවීන් තියුනුවන් ලකුණු 32ක සබඳතාවක් ගොඩ නගනවා.

රවිඳු ද සිල්වා පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා ගත් අතර සවීන් තියුණුවන් පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා ගත්තා.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මිනිඳු ඕෂද. ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා. ඊට අමතර ව මහිම් දේශායි පන්දු 45ක දී හතරේ පහර 4ක් සමඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 24ක්.

කඩුලු දවා ගැනීමේ දී පසිඳු නදීශ් ලකුණු 41කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව ඉශාන් අනුරාධ කඩුලු 2ක් ද, කවීශ සඳරුවන්, චන්දූප කවීශ සහ දිනෙත් ගිම්හාන් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් ආරම්භක පිතිකරු චන්දූප කවීශ පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තා. ඊට අමතර ව ජිතිර සංසික පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ද සහ සුහස් ද සිල්වා පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී රවිඳු ද සිල්වා ලකුණු 49කට කඩුලු 3ක් දවා ගත් අතර සඳලු රශ්මිකට එක් කඩුල්ලක් හිමි වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී දේවානන්ද විද්‍යාලය – සියලුම දෙනා දැවී 144 (73.3) මහිම් දේශායි 24, මිනිඳු ඕෂද 39, පසිඳු නදීශ් 4/41, ඉෂාන් අනුරාධ 2/18

 

ධර්මාශෝක විද්‍යාලය – කඩුලු 5ක් දැවී 147 (28.1) සුහස් ද සිල්වා 22, චන්දූප කවීෂ 64, ජිතිර සංසික 31, රවිඳු ද සිල්වා 3/49

ධර්මාශෝක විද්‍යාලයට කඩුලු 4ක ජයක්.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – ඉෂාන් අනුරාධ (ධර්මාශෝක විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – පසිඳු නදීශ් (ධර්මාශෝක විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – මිනිඳු ඕෂද (ශ්‍රී දේවානන්ද විද්‍යාලය)
  • තරගයේ වීරයා – චන්දූප කවීෂ (ධර්මාශෝක විද්‍යාලය)

 

Battle of the Golds

යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය සහ වඩුකොඩ්ඩායි යාපනය විද්‍යාලය අතර පැවැති රන් සටනට විස්සයි විස්ස තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත පැට්‍රික් විද්‍යාලය සමත් වුනා.

යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් යාපනය විද්‍යාලයට පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 133ක් ලබා ගත්තා. එම ඉලක්කය ඉනිමේ එක් පන්දුවක් ඉතිරි ව තිබිය දී සපුරා ගැනීමට ප්‍රතිවාදී සාන්ත පැට්‍රික් විද්‍යාලය සමත් වෙනවා.

මෙම තරගයේ දී යාපනය විද්‍යාලයේ නායක එස්. මතුසාන් පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

යාපනය විද්‍යාලය – කඩුලු 9ක් දැවී 133 (20.0) එස්. මතූසාන් 50, එස්. කබිශාන් 21, ප්‍රේමනායකම් මතුසාන් 2/27, විජයකුමාර් අයිවන් 2/26, කුමනදාසන් සරුශාන් 2/15, කේ. ලික්සශාන් 2/22

 

සාන්ත පැට්‍රික් විද්‍යාලය – කඩුලු 6ක් දැවී 137 (19.5) රොබිසන් ශියන්සාන් 31, පත්කුනම් මතුශාන් නොදැවී 34, ඒ. හර්මිශාන් 2/16, ආර්. ජොන්සන් 2/21

සාන්ත පැට්‍රික් විද්‍යාලයට  කඩුලු 4ක ජයක්.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<