2017 අන්තර්මධ්‍යම බොක්සිං තරගාවලියේ තෙවන දිනය ඊයේ (29) නිමාවට පත්වුණේ කොළඹ මාස් රාජකීය බොක්සිං කවයේදී යි. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග මෙසේ පැවැත්වුණු අතර කාන්තා තරග කිහිපයක්ද පැවැත්විණි. විශේෂ සිදුවීම වූයේ මෙරට ආධුනික අංශයේ දක්ෂතම ක්‍රීඩකයන් පරාජය කරමින් ඉදිරියට යන්නට වෙනත් ක්‍රීඩකයන් සමත් වීමයි.

පිරිමි, කි.ග්‍රෑ. 49 ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ කේ.අබේගුණවර්ධන සහ මාස් කණ්ඩායමේ එම්.හඳුවල අතර පැවති තරගයෙන් අබේගුණවර්ධනට ජයහිමිවූයේ ඔහු තුවාල ලබා තරගය නතර කරන අවස්ථාවේ ලකුණු අතින් ඉදිරියෙන් සිටි බැවිනි. මෙය ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ නවතම නීතියයි.

යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ ඩී.දිවාකර සහ එස්.කුමාර අතර තරගයෙන් 5-0ක් වශයෙන් ජයගත්තේ දිවාකර යි.

ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ කේ.කපුකොටුව සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ පී.බණ්ඩාර අතර තරගයේදී කපුකොටුව පාර්ශ්වයෙන් කියාසිටියේ තරගය නවත්වන ලෙසයි. ඒ අනුව බණ්ඩාරට ජය හිමිවිය.

පිරිමි,  කි.ග්‍රෑ. 52 ෆ්ලයි වෙයිට් බරපන්තිය

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එස්.සමරනායක සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එම්.පුෂ්පකුමාර අතර පැවති පළමු අර්ධ අවසන් පූර්ව තරගයෙන් 4-1ක ජූරි බහුතරය දිනාගත් පුෂ්පකුමාර ජයලැබුවේය.

ගුවන් හමුදා කෆීර් කණ්ඩායමේ කේ.කුමාර සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලීය බොක්සිං සමාජයේ පී.මල්ෂාන් අතර තරගයෙන් 5-0ක් ලෙස සියලු ජූරි තීරණ තමන් සතුකරගත් මල්ෂාන් ජය හිමිකර ගත්තේය.

ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එම්.කුමාරසිංහ සහ විද්‍යාර්ථ විද්‍යාලීය බොක්සිං සමාජයේ ඩී.විද්‍යාලංකාර අතර තරගය 5-0ක් ලෙස ජයගත්තේ විද්‍යාලංකාර යි.

2017 ආධුනික බොක්සිං තරගාවලියේ මෙම බරපන්තියේ ශූරයා වූ යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ එම්.උදයකුමාරව 3-2ක් වශයෙන් පරාජය කරමින් ගුවන් හමුදා කණ්ඩායමේ වී.රූපසිංහ ඉදිරියට යෑමට සමත්වීම, දිනය තුළ සිදුවූ විශේෂ සිද්ධියකි.

පිරිමි, කි.ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ අයි.චාමර සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එල්.ධර්මප්‍රිය අතර තරගයේදී චාමරට තුවාල සිදුවූ අතර විනිසුරු විසින් තරගය නැවැත්වීමේදී ලකුණු වලින් ඉදිරියෙන් සිටි චාමර ජයගත්තේය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කේ.ජයවික්‍රම සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඩබ්ලිව්.සුගත් අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයේ බරමැනීමේ කටයුත්තට ජයවික්‍රම සහභාගී නොවීම නිසා සුගත් හට නිතරග ජයක් හිමිවිය. ඊයේ (28) පැවති මූලික වටයේ තරගයක් අතරතුරදී ජයවික්‍රම තුවාල ලැබීය.

සාන්ත ජෝන් විද්‍යාලයේ ඩී.රත්නායක සහ යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ සී.ප්‍රේමවංශ අතර පැවති තරගයේදී විනිසුරු විසින් තරගය නවත්වා ප්‍රේමවංශව ජයග්‍රාහකයා කරනු ලැබීය.

ගියවර ආධුනික ශූරයා සහ දක්ෂතම ක්‍රීඩකයා යන සම්මාන ද්විත්වයේම හිමිකරුවා වන කේ.මධුරංග සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ප්‍රදීප් ද සිල්වා අතර තරගය 3-2ක් ලෙස තියුණු අයුරින් ජයගන්නට ප්‍රදීප් සමත් විය. තරගයෙන් අනතුරුව ThePapare.com වෙත අදහස් දැක්වූ ප්‍රදීප් කියාසිටියේ,

“මේ වෙයිට් එකේ හොඳම ප්ලේයර්ට තමයි ගැහුවේ. එයා ලංකාවෙන්ම දක්ෂ ක්‍රීඩකයෙක්. මම ජයග්‍රහණය කළා. ඒ ගැන සතුටුයි. අම්මා, බිරිඳ, යාළුවෝ සහ පුහුණුකරුවන් ඇතුළු උදව් කළ හැමෝම මතක් කරනවා.” යනුවෙන්.

පිරිමි, කි.ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බරපන්තිය

ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ බී.ජයම්පති සහ යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජයේ එස්.කුමාර අතර තරගය 4-1ක් වශයෙන් ජයලබන්නට ජයම්පති සමත් විය.            

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්.ජයවීර සහ යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ එස්.සිරිවර්ධන අතර තරගයේදී 3-2ක් ලෙස ජූරියේ තියුණු බහුතරයකින් ජයගත්තේ සිරිවර්ධන යි.

සිල්වර්ලයින් ක්‍රීඩා සමාජයේ බී.සමරදිවාකර සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ බී.වරාපිටිය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයේදී වරාපිටියගේ ශාරීරික යෝග්‍යතාවය අයහපත් බවට නිර්දේශ කෙරී තිබූ බැවින් සමරදිවාකර නිතරගයෙන් ඉදිරියට ගියේය.

යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජයේ එස්.කිරිඇල්ල සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එස්.කුමාර අතර පැවැත්වුණු තරගය 4-1ක ජූරි බහුතරයකින් ජයගත්තේ කුමාර යි.

පිරිමි, කි.ග්‍රෑ. 64 ලයිට් වෙල්ටර් වෙයිට් බරපන්තිය

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එල්.නාරන්ගොඩ සහ යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ ආර්.ප්‍රියදර්ශන අතර තරගයේදී ප්‍රියදර්ශන ජයගත්තේ 5-0ක ජූරි බහුතරයකිනි.

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ඒ.සඳරුවන් සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ජී.මධුරංග අතර පැවති තරගයේදී 5-0ක් ලෙස ජයගත්තේ මධුරංග යි.

පොලිස් ක්‍රීඩා සමාජයේ සී.නිලංග සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එස්.පෙරේරා අතර පැවති තරගය 3-2ක් ලෙස ජයගන්නට නිලංග සමත් විය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එල්.චන්ද්‍රබණ්ඩාර සහ යුධ  හමුදා රෙඩ් කණ්ඩායමේ එන්.මැද්දෙවත්ත අතර තරගයේදී 3-2ක් ලෙස චන්ද්‍රබණ්ඩාර ජය ලැබුවේය.

පිරිමි, කි.ග්‍රෑ. 69 වෙල්ටර් වෙයිට් බරපන්තිය

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එම්.අබේරත්න සහ යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජයේ වී.නිකලස් අතර පැවැත්වුණු තරගය 5-0ක් ලෙස ජයගන්නට නිකලස් සමත් විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එස්.විජේසුන්දර සහ යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජයේ එස්.රූපසිංහ අතර පැවති තරගයේදී විජේසුන්දර ජය ලැබුවේ 5-0ක් ලෙසයි.

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එන්.ඒකනායක සහ යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ සී.මධුශංක අතර තරගයද 5-0ක තීරණයකින් අවසන් වූයේ මධුශංක ඉදිරියට යවමිනි.

ගුවන් හමුදා කෆීර් කණ්ඩායමේ කේ.අතුකෝරාල සහ නාවික හමුදා ක්‍රීඩා සමාජයේ සී.සෙනවිරත්න අතර පැවති තරගය අතරමැද නවත්වා අතුකෝරාලට ජය  ලබාදෙන්නට විනිසුරු තීරණය කළේය.

පිරිමි, කි.ග්‍රෑ. 75 මිඩ්ල්වෙයිට් බරපන්තිය

පොලිස් ක්‍රීඩා සමාජයේ ඩී.බණ්ඩාර සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ඩී.පුෂ්පකුමාර අතර තරගයේදී 5-0ක ජයක් පුෂ්පකුමාරට හිමිවිය.

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පී.වීරසිංහ සහ යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ ඩී.සම්පත් අතර තරගය විනිසුරු විසින් නවතාදැමුණේ වීරසිංහ නොක් අවුට් වීමෙන් පසුවයි. ජය, සම්පත්ට හිමිවිය.

විද්‍යාර්ථ බොක්සිං සමාජයේ සී.සිසිරකුමාර සහ ගුවන් හමුදා කෆීර් කණ්ඩායමේ ඩී.රන්තිලක අතර තරගය 5-0ක් වශයෙන් ජයගන්නට සිසිරකුමාර සමත් විය.

පිරිමි, කි.ග්‍රෑ. 81 ලයිට් හෙවි වෙයිට් බරපන්තිය

විදියන් ක්‍රීඩා සමාජයේ එස්.කේසවන් සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඒ.අමරසිංහ අතර තරගයේදී අමරසිංහ ජයගත්තේ 5-0ක් ලෙසයි.

යුධ හමුදා රෙඩ් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් වන එස්.මදුරසිංහ සහ එන්.බණ්ඩාර අතර තරගයේදී බණ්ඩාර 4-1ක තීරණයකින් ජයගත්තේය.    

පිරිමි, කි.ග්‍රෑ. 91 හෙවි වෙයිට් බරපන්තිය

ගුවන් හමුදා කෆීර් කණ්ඩායමේ බී.සේනානායක සහ යුධ හමුදා කණ්ඩායමේ ආර්.සඳකැලුම් අතර තරගය විනිසුරු විසින් නවත්වා දැමුණේ සඳකැලුම්ව ජයග්‍රාහකයා කරවමිනි.

ආධුනික බොක්සිං සමාජයේ වී.හේමචන්ද්‍ර සහ පොලිස් ක්‍රීඩා සමාජයේ එම්.ගෝඨාභය අතර පැවති තරගයේදී 5-0ක් ලෙස ජයගත්තේ ගෝඨාභය යි.

යුධ හමුදා රෙඩ් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙපලක් වන පී.වාරියප්පෙරුම සහ ටී.ප්‍රභාත් අතර තරගයේදී 5-0ක් ලෙස වාරියප්පෙරුම ජයගත්තේය.

කාන්තා අංශයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග කිහිපයක්ද මෙහිදී පැවැත්වුණු අතර එහිදී එතරම් තරගකාරී තරග දැකගත නොහැකි විය. ජය ලැබූවන් පිළිවෙලින් මෙසේ විය.

කව්මිණි ගමගේ (මාස් ලීනියා)
ඩී.දිනුෂා (කැෂුවල් ලයින්)
එස්.ඉලංගරත්න (පොලිස්)
එම්.දසුනිකා (හෙළ ක්ලෝදින්)
ඩී.ප්‍රියදර්ශනී (පොලිස්)
වී.කුමාරි (මාස් ලීනියා)
ආර්.මෙන්ඩිස් (කැෂුවල් ලයින්)
එන්.කළුආරච්චි (ගුවන් හමුදාව)

අද (30) පැවැත්වෙන්නේ පිරිමි අවසන් පූර්ව තරග සහ කාන්තා අවසන් පූර්ව තරග යි. පුවත් ආවරණය ThePapare.com තුළින් බලාපොරොත්තු වන්න.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට