හර්ශිතා – නිලක්ෂි වාර්තාගත සබඳතාව බංගලියන් හඬවයි

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

475

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය SSC ක්‍රීඩාංගණයේ දී අද (12) නිමා වුනා. එම තරගයෙන් ලකුණු 44ක සුපිරි ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව 2-1ක් ලෙස තරගාවලිය ජය ගැනීමට සමත් වුනා.

නොකඩවා තෙවැනි වරටත් කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. අතපත්තු ලකුණු 32ක් ලබාගෙන ශ්‍රී ලංකාවේ ආරම්භය ස්ථාවර කළා. 4 පහර 3ක් සහ 6 පහර 2ක් සමඟ පන්දු 23ක දී ලකුණු 32ක් ලබා ගත් අතපත්තු දැවී යන විට, ශ්‍රී ලංකා ලකුණු සටහන 43/2 (පන්දුවාර 6.5)ක් ලෙස දැක්වුනා.

ලකුණු 56කට කඩුලු 3ක් බිඳ වැටී ගොස් තිබුණු මොහොතේ හර්ෂිතා සමරවික්‍රම සමඟ පිටියේ එක්වූ නිලක්ෂි ද සිල්වා 4 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65ක් තුල ලකුණු 102*ක නොබිඳුණු සුපිරි සබඳතාවයක් ගොඩනැංවූයේ බංග්ලාදේශ ක්‍රීඩිකාවන් අන්දමන්ද කරමින්. එය ශ්‍රී ලංකා කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය තුල ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වී තිබෙන දෙවැනි හොඳම සබඳතාවය ලෙස ද වාර්තා පොත් අතරට එකතු වුනා.

එහි දී සමරවික්‍රම ඇයගේ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබා ගත් සිව්වැනි අර්ධ ශතකය ලබා ගන්නා විට, ඇයට උපරිම සහයක් ලබා දුන් ද සිල්වා ඇයගේ හොඳම ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම දියත් කරමින් නොදැවී ලකුණු 63ක් ලබා ගත්තේ පන්දු 39ක් තුලයි. ඇයගේ එම ප්‍රහාරාත්මක ඉනිමට 4 පහර 4ක් සහ 6 පහර 4ක් ඇතුලත් වුනා.

Jahanara Alam ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරයට ලකුණු 24ක් ලබා ගැනීමට ද සිල්වා සහ සමරවික්‍රම සමත් වුනු අතර ඉන් ලකුණු 23ක් ම (6×3 සහ 4×1) වාර්තා වුනේ ද සිල්වාගේ පිත්තෙන් වීම කැපී පෙනුණා.

ලකුණු 159ක අභියෝගාත්මක ඉලක්කයක් පසුපස ගිය බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 32ක් තුල දවා ගනිමින් ආරම්භයේ සිටම ඔවුන්ට පීඩනය යොමු කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුනා. නායිකා Nigar Sultana සහ Sobhana Mostary පිළිවෙළින් ලබා ගත් ලකුණු 31 සහ ලකුණු 30 හැරෙන්නට අනෙක් එකඳු හෝ ක්‍රීඩිකාවක් හට සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

අවසානයේ දී බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 114ක් පමණයි. පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී සහ කාව්‍යා කාවින්දි කඩුලු 2ක බැගින් දවාගනිමින් දස්කම් දැක්වූවා.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<