නවසීලන්තයට ගිය රංගන හේරත්ට ඇබැද්දියක්

596

නවසීලන්තයේ සංචාරයක නිරත බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් හට COVID-19 වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙනවා.

ඔහුත් සමඟම බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයින්, සහය කාර්ය මණ්ඩලය ඇතුළු 9 දෙනෙක්ගේ නිරෝධායන කාලය ඒ අනුව දිගු කර තිබෙනවා.

සංචාරක බංග්ලාදේශය හා නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹෙන ජනවාරි 1 වැනිදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය සඳහා බංග්ලාදේශය මේ වන විට නවසීලන්තයට ගොස් සිටිනවා.

“හේරත්ට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වුනා. ඒ නිසා ඔහු ඉන් මිදෙන තුරු අපිට නිරෝධායනය දිගු කරන්න වෙනවා”, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරි Akram Khan පවසා තිබුණා.

“ඔවුන් ගමන් ගත් ගුවන් යානයේ කොරෝනා ආසාදනය වූ රෝගියෙකු හිඳ තිබෙනවා. හේරත් සහ අප කණ්ඩායමේ තවත් කිහිප දෙනෙකු ඔහුගේ ළඟින්ම හිඳ තිබෙනවා. ඒ බව දැනගෙන අපේ ක්‍රීඩකයින් නිරෝධායනය කරද්දී තමයි හේරත්ටත් වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගත්තේ.”

“කණ්ඩායමේ අනෙක් සාමාජිකයින් පුහුණුවීම් සඳහා නිදහස් කර තිබෙනවා. නමුත් ඔවුන්ට පුහුණුවීම් කරන්න ලැබුණේ නැහැ වර්ෂාව නිසා. ඔවුන් නියමිත නිරෝධායන කාලසීමාව අවසන් කර තිබෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<