බංග්ලාදේශයට මෙවර ලෝක කුසලානයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වන බව ඊයේ (24) ICC විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.
මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාවේ තරගවලට සහභාගී වීම බංග්ලාදේශය විසින් ප්‍රතික්ෂේප කළ අතර, පසුගිය සති කිහිපය මුළුල්ලේ බංග්ලාදේශය සහ ICC අතර ඇති වූ සාකච්ඡා රැසක දීම මේ පිළිබඳ සාකච්ඡා කෙරුණා.
කෙසේ වෙතත් මේ එකදු අවස්ථාවක හෝ බංග්ලාදේශය ඉන්දියාවට සංචාරය කිරීමට එකඟ නොවුනේ තම ක්‍රීඩකයින්ගේ, මාධ්‍යවේදීන්ගේ සහ ක්‍රිකට් රසිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු ඇති බව පවසමිනුයි.
මෙම සියලු ගැටලුවලට මුල් වූ සිදුවීම ලෙස Mustafizur Rahman එළඹෙන IPL තරගාවලියෙන් ඉවත් කිරීමට Kolkata Knight Riders කණ්ඩායම ගත් තීරණය හේතු වූ බව පැහැදිලි කරුණක්.
මෙම සිදුවීම් පිළිබඳ මීට පෙර ලියැවුණු ලිපි ද්විත්වයක් පහතින්;
- බංග්ලාදේශය ලෝක කුසලානයෙන් ඉවතට විසි වීමේ අවදානමක්!
- ඉන්දියාව සහ බංග්ලාදේශය කරට කර හැප්පෙයි; ක්රිකට් ලෝකය උණුසුම් වෙයි
එම සියලු සිදුවීම්වලින් අනතුරුව ICC විසින් බංග්ලාදේශයට තම අවසන් තීරණය ගැනීමට පැය විසි හතරක කාලයක් ලබා දුන්නේ පසුගිය බදාදා (21) දිනයේ දියි.
මෙහි දී ICC විසින් අවධාරණය කළේ එවන් ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් කිසිම කණ්ඩායමකට නොමැති බව සහ බංග්ලාදේශය අපේක්ෂා කරන පරිදි තරග කාලසටහනේ වෙනසක් නොවන බවයි. එමෙන්ම බංග්ලාදේශය තරගාවලියට එක් නොවේ නම් ඒ වෙනුවට ස්කොට්ලන්තය මෙවර ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී වනු ඇති බවත් ඔවුන් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා (22) දිනයේ දී බංග්ලාදේශය විසින් ICC වෙත දන්වා තිබුණේ මෙම ගැටලුව ICC ආයතනයේ ගැටලු විසඳීම් කමිටුව (DRC) වෙත රැගෙන යා යුතු බවයි.
DRC යනු පාලක මණ්ඩල සහ සාමාජික මණ්ඩල අතර ඇති වන ගැටලු විසඳීම සඳහා පත් කර ඇති ස්වාධීන කමිටුවක් වන අතර, බංග්ලාදේශයේ එම ඉල්ලීමට ICC වෙතින් හිමි වූ ප්‍රතිචාරය කුමක්ද යන්න වාර්තා වන්නේ නැහැ.
කෙසේ වෙතත් මීට පෙර ICC සාමාජිකයින් විසින් බංග්ලාදේශය ලෝක කුසලානයට නොයන්නේ නම්, වෙනත් කණ්ඩායමක් ඒ වෙනුවෙන් ආදේශ කිරීමට වැඩි ඡන්දයෙන් තීරණයක් ලබාගෙන තිබුණා.
ඒ අනුව ICC විසින් පසුගිය සිකුරාදා දිනයේ දී බංග්ලාදේශය වෙත තම තීරණය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීමේ වරම් බංග්ලාදේශයෙන් අහිමි වී ස්කොට්ලන්තයට හිමි වනු ඇති.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් පාකිස්තානය සිය අප්‍රසාදය පළ කර තිබුණා.
බංග්ලාදේශය පිළිබඳ තීරණ ගැනීමට පැවැත්වූ ඡන්දයේ දී බංග්ලාදේශය වෙනුවෙන් සිය පක්ෂපාතීත් වය පළ කළ එකම රට ලෙස පාකිස්තානය සඳහන් වූ අතර, ඊයේ දිනයේ දී පාකිස්තාන ක්‍රිකට් සභාපති Moshin Naqvi සඳහන් කර සිටියේ තම රට මෙවර ලෝක කුසලානයට තරග කරාවිද, නැද්ද යන්නත් අවිනිශ්චිත බවයි.
“ලෝක කුසලානයට සහභාගී වීම ගැන අපේ පියවර ගැන පාකිස්තාන රජය මාව දැනුවත් කරාවි. අගමැති තුමා මේ වන විට පාකිස්තානයේ නැහැ. ඔහු ආයෙත් ආවාම අපේ අවසන් තීරණය ගැන මම කියන්නම්. ඒක රජයේ තීරණයක්. අපි ඔවුන් කියන දේ කරනවා. ICC කියන දේ නෙවෙයි.”
මෙහි දී ඔහු විසින් ICCය ද්විත්වය ප්‍රතිපත්තිවල එල්ලී සිටින බව ප්‍රකාශ කළා. විශේෂයෙන්ම ඉන්දියාව වෙනුවෙන් වෙනම සැලකීමක් සහ බංග්ලාදේශය වෙනුවෙන් ඊට හාත්පසින් ම වෙනස් සැලකීමක් ලැබෙන බවයි ඔහු මෙහි දී සඳහන් කරන්නේ.
“පාකිස්තාන රජය කිව්වොත් අපි ක්‍රීඩා කරන්නේ නැහැ කියලා, ICC එකට සිදු වේවී 22 වැනි කණ්ඩායමකුත් හොයා ගන්න. ඒක අපේ රජය සතු තීරණයක්.“
මේ අනුව එළඹෙන ලෝක කුසලානයට බංග්ලාදේශය සහභාගී නොවන බව දැන් තහවුරු වී තිබෙනවා. එමෙන්ම පාකිස්තානය ලෝක කුසලානයට සහභාගී වේවිද යන්නත් මේ වන විට ගැටලුවක් ව පවතිනවා.
පාකිස්තානයත් ලෝක කුසලානයෙන් ඉවත් වී ගිය හොත් අහම්බෙන් ලෝක කුසලාන වරම් ලැබෙනා මීළඟ වාසනාවන්ත රට කුමක් ද යන්න මීළඟ ගැටලුව වනු ඇති!
මෙම සිදුවීම පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















