වසර 33කට පසු ශ්‍රී ලංකා යෞවනයෝ ඉතිහාසය අලුත් කරයි

3895

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති යොවුන් ටෙස්ට් තරගය අද (12) නිමාව දුටුවේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට කඩුලු 3ක තියුණු ජයක් ලබා දෙමිනි.

මෙම තරග ජයග්‍රහණය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ඉතාම වැදගත් එකක් වන්නේ වසර 33කට පසුව ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමක් යොවුන් ටෙස්ට් තරගයකින් පරාජය කර ලබාගත් ජයග්‍රහණයක් බවට මෙය පත්වීම නිසාවෙනි.

කමිල් මිෂාරගෙන් අගනා ශතකයක්

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර….

තරගයේ දෙවන දිනය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 287ක් ලබා සිටි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද උදෑසනම 309/8ක් ලෙස ලකුණු ලබා සිටිය දී පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට වඩා ලකුණු 40ක පළමු ඉනිමේ වාසියක් ලබා ගනිමිනි.

ලකුණු 40ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ පිතිකරුවන්ට මෙවර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පන්දු යවන්නන් හමුවේ රිසි සේ ලකුණු ලබා ගැනීමට අවස්ථාව ලැබුණේ නැත. එහි දී චමිඳු විසින් පළමු ඉනිමේ ලකුණු 71ක් ලබාගත් හන්ටර්ව ලකුණු බිංදුවකට දවා ගනිමින් ආරම්භ වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ කඩුලු දඩයම අවසන් වූයේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ මුල් කඩුලු 4ම ලකුණු 20කට දවා ගනිමිනි.

ලකුණු 20කට මුල් කඩුලු 4ම බිඳවැටීමෙන් අනතුරුව පිටියේ එක්වූ නායක හෝල්ට් සහ හියරන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දඟපන්දු යවන්නන් යුගලය වූ සංජය සහ සඳුන්ගෙන් කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දු 129කින් ලකුණු 30 සබඳතාවයක් ගොඩනැගුවද පන්දු 73කින් ලකුණු 5ක් ලබා සිටි නායක හොල්ට් සංජයගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමඟම නැවතත් ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව ක්‍රමයෙන් 69/7ක් දක්වා දරුණු පසුබෑමකට ලක්වූයේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම පරාජය අභියසටම ගෙනයමිනි.

ලකුණු 69කට කඩුලු 7ක් දැවී අන්ත අසරණ තත්වයක සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම එම අගාධයෙන් බේරා ගත් ෆ්රීමන් සහ සංගා 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 116කින් ගොඩනැගූ ලකුණු 74ක සබඳතාවය එක් අවස්ථාවක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම භීතියට පත්කළ ද අවසානයේ දී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 151කට දැවී ගියේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 20ක් තුල ලකුණු 112ක ඉලක්කයක් ලබා දෙමිනි.

ප්‍රියමාල් පෙරේරාගේ ශතකය දවස උණුසුම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League පළමු…

එහි දී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම එතරම් ලකුණු ප්‍රමාණයක් කරා ගෙන යාමට විශාල මෙහෙවරක් කළ ෆ්රීමන් පන්දු 95කින් නොදැවී ලකුණු 52ක් ලබා ගන්නා විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දඟපන්දු යවන්නන් දෙදෙනා වූ රොහාන් සහ සඳුන් කඩුලු 4 බැගින් දවා ගත්තේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරමිනි.

පන්දුවාර 20ක් තුළ ලකුණු 112ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ මුල් කඩුලු 4ම පන්දු 65ක් තුළ ලකුණු 48කට දැවී ගියේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ආරම්භක වේගපන්දු යවන්නා වූ සැක් එවන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේය. එම අවස්ථාව වන විට එවන්ස් ඉතාමත් තර්ජනාත්මක අයුරින් පන්දු යැවූ නිසා තරගය දෙපිලටම විවෘත එකක් විය.

එලෙස ලකුණු 48කට කඩුලු 4ක් වැටී තිබුණු එම අසීරු අවස්ථාවේ පිටියේ එක්වූ නිපුන් සහ චමිඳු කඩුලු ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව පන්දුවාර 15ක් අවසානයේ දී 62ක් දක්වා ඉහළ නංවන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දු 30කින් ජයග්‍රහණය සඳහා ලකුණු 52ක් අවශ්‍ය විය.

ලකුණු පසුපස හඹායන සන්තුෂ්ගෙන් තවත් ශතකයක්

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දස්කම් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් තැනී තිබෙන….

එම අවස්ථාව වන විට ජයග්‍රහණය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමෙන් ගිලිහෙන ආකාරයක් දක්නට ලැබුණ ද එම අවස්ථාවේ කිසිවකු නොසිතූ අයුරින් නායක නිපුන් සහ චමිදු එක්ව ෆ්රීමන් සහ එවන්ස් හමුවේ පන්දු 9ක් තුළ ලකුණු 32ක් ලබාගත්තේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයග්‍රාහී මාවතට යොමු කරමිනි.

චමිඳු සහ නිපුන් ගොඩනැගූ එම සබඳතාවය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජය මාවතට යොමු කළත්, නිපුන් ලකුණු 35කට දුවද්දී දැවී යාමෙන් අනතුරුව එවන්ස් ක්‍රියාත්මක වෙමින් ඉක්මනින්ම තවත් කඩුලු 2ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව පන්දුවාර 19ක් අවසානයේ දී 108/7ක් බවට පත්කළ ද අවසන් පන්දු වාරයේ 4 වැනි පන්දුවට සඳුන් එල්ල කළ හතරේ පහරත් සමඟින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට කඩුලු 3ක තියුණු ජයක් උරුම විය.

එහි දී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම වෙනුවෙන් සැක් එවන්ස් ලකුණු 44කට ලබාගත් කඩුලු 6 කණ්ඩායම් දෙක අතර යොවුන් ටෙස්ට් තරග ඉතිහාසයේ වාර්තා වූ හොඳම පන්දු යැවීම බව අවසන් වශයෙන් සිහිපත් කර යුතුය.

ඕස්ට්‍රේලියා යොවුන්  කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 9ක් දැවී  269 (83.2) කොරේ හන්ටර්  71, බැක්ස්ටර් හෝල්ට්  60, ජැරොඩ් ෆ්රීමන් 36 , රොහාන් සංජය 5/94, රුවින් පීරිස් 2/40

ශ්‍රී ලංකා යොවුන්  කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 309 (98) කමිල් මිෂාර 105, මොහොමඩ් සමාස්  43,චමිඳු විජේසිංහ 39, ජැරොඩ් ෆ්රීමන්  3/82, සැක් එවන්ස් 2/61

ඕස්ට්‍රේලියා යොවුන්  කණ්ඩායම; දෙවන ඉනිම සියල්ලන්ම  දැවී 151 (65.4) ජැරොඩ් ෆ්රීමන් (නොදැවී ) 52,තන්වීර් සංගා 25 , රොහාන් සංජය 4/37, සඳුන් මෙන්ඩිස්  56/4

ශ්‍රී ලංකා යොවුන්  කණ්ඩායම; දෙවන ඉනිම කඩුලු 7ක් දැවී 114(19.4) නිපුන්  ධනංජය 35, චමිඳු විජේසිංහ 29, සැක් එවන්ස්  6/44

1985 වසරේ දී රොෂාන් මහානාමගේ නායකත්වය යටතේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමක් ටෙස්ට් තරගයකින් පරාජය කිරීමෙන් වසර 33කට පසුව අද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලබාගත් මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් ඉතිහාසයේ ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණයවලින් එකකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<