කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර 49 වැනි වරටත් පැවැති සුලෝහිත සංග්‍රාම වාර්ෂික එක්දින සීමිත පන්දුවාර මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 53ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා.
කොළඹ කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී (7) පළමු වරට දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් නාලන්දා විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තා.
ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 261ක් ලබා ගන්නා ලද අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ තවත් පන්දු 19ක් ද ඉතිරි ව තිබිය දී සියලුම දෙනා දැවී ලකුණු 208ක් පමණයි.
ආනන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
කිත්ම විතානපතිරණ (නායක), නෙතුල එදිරිමාන්න, දනිඳු සෙල්ලප්පෙරුම, ආශිංශ නයිනායක, ශාරද ජයරත්න, ලිත්ම පෙරේරා (කඩුලු රකින්නා), රශාන් දිලක්ෂ, ඔවින් පෙරේරා, දනිරු රණසිංහ, දසිත් බටුගහගේ සහ තිනුර සනුජිත.
නාලන්දා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ඔසඳ පමුදිත (නායක), ලිතුම් විජේකුමාර, නඳුල් ජයලත්, ගෙවිඳු මනම්පේරි, රන්මිත් දිනුවර (කඩුලු රකින්නා), නෙමිඳු අක්මීමන, මිහින් සොයිසා, සන්තුල් විජේරත්න, මල්ශ ප්‍රනාන්දු, දුනිත අනුසාර සහ හසිත් රත්නායක.
පළමුවෙන් පන්දුවට පහර දීමට අවස්ථාව ලබා ගත් නාලන්දා ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන් තම පළමු පන්දුවාර 10 අවසන් කරන්නේ ලකුණු 33ක් පමණක් ලකුණු පුවරුවට එක් කරමින්. ඒ වෙද්දී නදුල් ජයලත් (1), ගෙවිඳු මනම්පේරි (11) සහ ලිතුම් විජේකුමාර (7) තම ඉනිම් අවසන් කරමින් ක්‍රීඩාගාරයට ගොස් තිබුණා.
එසේ අසරණ වූ ඉනිමේ පළමු ලකුණු 50 එක් කර ගැනීමට ඔවුන්ට පන්දු 94කට මුහුණ දීමට සිදු වෙනවා. කෙසේ වෙතත් එම අවස්ථාවේ දී සාර්ථක ලකුණු පුවරුවක් ගොඩ නැගීමට රන්මිත් දිනුවර සහ නෙමිඳු අක්මීමන සමත් වෙනවා.
ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 145ක දී ලකුණු 144ක සබඳතාවක් එක් කරනවා. එම සබඳතාව බිඳ වැටෙන්නේ නෙමිඳු අක්මීමන ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු තම ඉනිම හැර යන විට පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 79ක් ලබා සිටියා.
රන්මිත් දිනුවර නාලන්දා ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 78ක් ලබා සිටියා.
ඔවුන් දෙදෙනාට අමතර ව නාලන්දා ඉනිම අවසන් වෙද්දී මල්ශ ප්‍රනාන්දු පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා සිටියා.
- ශතක 3ක් සමඟින් සුලෝහිත සංග්‍රාමය විසඳුමකින් තොරව අවසන් වේ
- නෙමිඳුත් සුලෝහිත සංග්‍රාමයට ශතකයක් එක් කරයි
- සුලෝහිත සංග්‍රාමයට නෙතුල්ගෙන් ශතකයක්
- දෙවැනි පෙළ එක්දින ශූරතාව හික්කඩුව සුමංගලයන්ට
- කමල්, සමන් සහ ගාමිණි රාජ්‍ය සේවා ක්‍රිකට් මුල් පුටුවලට පත් වෙයි
කඩුලු දවා ගැනීමේ දී දසිත් බටුගහගේ සහ ශාරද ජයරත්න කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව තිනුර සනුජිත, කිත්ම විතානපතිරණ, රශාන් දිලක්ෂ සහ ආශිංස නයිනායක කඩුල්ල බැගින් බෙදා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ආනන්ද විද්‍යාලයීය ඉනිමට ද සාර්ථක ආරම්භයක් ලැබුණේ නැහැ. ඉනිමේ 7 වැනි පන්දුවාරයේ පිට පිට පන්දු 2ක දී කඩුලු ද්විත්වයක් දැවී යද්දී ඔවුන්ගේ ලකුණු පුවරුව දැක් වුණේ ලකුණු 30ක් ලෙසයි.
එම අවස්ථාවේ දී පිටියේ එක් අන්තයක් සාර්ථක කර ගත් දනිඳු සෙල්ලප්පෙරුම පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වෙනවා.
ඔහු 3 වැනි කඩුල්ල වෙනුවෙන් ශාරද ජයරත්න හා සමඟ එක් වෙමින් පන්දු 98ක දී ලකුණු 69ක සබඳතාවක් ද සහ නායක කිත්ම විතානපතිරණ හා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 40ක දී ලකුණු 47ක සබඳතාවක් ද එක් කරනවා.
එහි දී ශාරද ජයරත්න පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ද සහ කිත්ම විතානපතිරණ පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.
ඊට අමතර ව ඔවින් පෙරේරා ද පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබා ගන්නවා.
දුවද්දී දැවී යෑම් 3ක් වාර්තා වූ ආනන්ද ඉනිමේ කඩුලු දවා ගැනීමේ දී නායක ඔසඳ පමුදිත ලකුණු 19කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව සංතුල් විජේරත්න කඩුලු ද්විත්වයක් ද, මල්ශ ප්‍රනාන්දු සහ හසිත් රත්නායක කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- නාලන්දා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 261 (50.0) රන්මිත් දිනුවර 78, නෙමිඳු අක්මීමන 79, මල්ෂ ප්‍රනාන්දු නොදැවී 19, දසිත් බටුගහගේ 2/24, ශාරද ජයරත්න 2/52
- ආනන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 208 (46.5) දනිඳු සෙල්ලප්පෙරුම 80, ශාරද ජයරත්න 23, කිත්ම විතානපතිරණ 22, ඔසඳ පමුදිත 3/19, සංතුල් විජේරත්න 2/50
නාලන්දා විද්‍යාලයට ලකුණු 53ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















