සෑම පාසල් ක්‍රීඩා ක්‍රීඩකයෙකුටම රක්ෂණාවරණයක්

505

අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වය ඇතිව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා ජාතික පාසල් ක්‍රීඩා උළෙල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ (27) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

1984 වර්ෂයේ එවකට අධ්‍යාපන ඇමතිව සිටි වර්තමාන අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් ක්‍රීඩාව තුළ විශිෂ්ට දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගෙන, ඔවුන්ව ජාතික තලයට ඔසවා තැබීම අරමුණු කරගෙන ආරම්භ වූ මෙම ක්‍රීඩා උළෙල, 33 වැනි වරටත් මේ වසරේ දී පැවැත්වීමට කටයතු සංවිධානය කර ඇත. තරගාවලිය ඔක්තෝබර් මස 2 වන දා සිට 15 වන දා දක්වා කොළඹ හා කොළඹ ආශ්‍රිත ක්‍රීඩාංගණ 48ක දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

2017 මන්චි ජාතික වොලිබෝල් තරගාවලිය ගලිගමුවෙන් ඇරඹේ

සිලෝන් බිස්කට්ස් සමාගමේ (CBL) ප්‍රමුඛතම සන්නාමය වන මන්චි අඛණ්ඩව 10 වන වසරටත් ජාතික වොලිබෝල්…

මෙහි සමාරම්භක උත්සවය ඔක්තෝබර් මස 2 වැනිදා කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, එහි සමාප්ති උළෙල අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 15 වැනිදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙනු ඇත.

ක්‍රීඩා ඉසව්වන් 28ක් පැවැත්වෙන මෙවර තරගාවලියට නව ක්‍රීඩා ඉසව් ද්විත්වයක් හඳුන්වා දී ඇති අතර, ඒවා වන්නේ වෙරළ වොලිබෝල් හා සත් සාමාජික රග්බි යන ඉසව්වන් ය. තවද මෙවර ක්‍රීඩා උළෙලට දිවයින පුරාම ආවරණය වන පරිදි පාසල් ක්‍රීඩකයින් 39,000ක් පමණ සහභාගි වීමට නියමිත අතර තරග විනිශ්චය කිරීමට විනිසුරුවරුන් 2700ක් ද සහභාගි වීමට නියමිතව ඇත.

“සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දස්කම් දක්වපු ක්‍රීඩකයින්ට තමා ජාතික මට්ටමින් මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් අපේ ක්‍රීඩාවට ජයග්‍රහණ ගෙන එන්න පුළුවන් වුනේ, සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, ශ්‍රියානි කුලවංශ, සුගත් තිලකරත්න වැනි ක්‍රීඩකයින් පවා මෙම ක්‍රීඩා උළෙල නියෝජනය කරලා තියෙනවා. පාසල් ක්‍රීඩකයින්ව උසස් පෙළ මට්ටමට වෙනකන් ගේන්න පුළුවන් එතනින් එහාට අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස අපට වගකීමක් ගන්න අමාරුයි.“

යැයි මෙම උත්සවයට සහභාගි වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක සුනිල් ජයවීර මහතා සිය අදහස් දක්වමින් පවසන ලදි.

අනතුරුව අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා;

“මෙවර ක්‍රීඩා උළෙලට අලුතින් ක්‍රීඩා ඉසව් දෙකක් දාලා තියෙනවා, ලබන අවුරුද්දේ ඉඳන් ලෙදර් ක්‍රිකට් ඉසව්වක් ද මෙම තරගාවලියට ඇතුළත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඊට අමතරව පාසල් මට්ටමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට විශාල වැඩපිළිවෙළක් කරගෙන යනවා. ඉදිරියේ දී සෑම ළමයෙක්ටම ක්‍රීඩාව අනිවාර්ය කරනවා. දැන් ළමයි ක්‍රීඩා නොකිරීමම නිසා ලෙඩ්ඩු බවට පත්වෙලා.”

පසුව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා මෙවර තරගාවලියට සහභාගි වන සෑම ක්‍රීඩකයෙක්ටම “සුරක්ෂා සිසු රක්ෂණය” නම් රක්ෂණාවරණයක් ලබා දීමට සූදානම්ව සිටින බව ප්‍රකාශ කළේය, එම ව්‍යාපෘතියට රජය විසින් රුපියල් මිලියන 2700ක් වෙන්කර ඇත. තවද මෙවර ක්‍රීඩා උළෙලට සහභාගි වන නිලධාරින්, විනිසුරුවරුන් ඇතුළු ක්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීමට රුපියල් මිලියන 55ක් ලබා දී ඇති බව ප්‍රකාශ කළේය.

උළෙලේ ගිනි සිළුව රැගෙන යාමට කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ පිහිනුම් ක්‍රීඩක ආසියානු රන් පදක්කම් ලාභී අකලංක පීරිස් හා ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ තුන් පිම්ම ඉසව්ව නියෝජනය කරමින් ටර්ක්මිනිස්ථානයේ පැවති මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් ලාභී බී. එම්. හසිනි ප්‍රබෝධා විසින් සිදු කරනු ඇත.

මෙම මාධ්‍ය හමුවට අධ්‍යාපන ඇමති සහ අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක සුනිල් ජයවීර මහතා, අතිරේක ලේකම් (පාසල් කටයුතු) අශෝක සේනානි හේවගේ මහතා හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරි මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටි අතර, තරගාවලියට අනුග්‍රාහකත්වය දක්වන අනුග්‍රාහක ආයතනවල ප්‍රධානීන් ද මෙම උත්සව අවස්ථාවට පැමිණ සිටියේය.

ක්‍රීඩා ඉසව්ව පැවැත්වෙන ස්ථාන හා තරග කාලසටහන (බාලක හා බාලිකා)

ඔක්තෝබර් 3 හා 4

  • ශාරීරික අභ්‍යාස – එස්. ද. එස්. ජයසිංහ ක්‍රීඩා පිටිය
  • වෙරළ වොලිබෝල් – මීගමුව වෙරළ තීරය

ඔක්තෝබර් 3, 4, 5

  • බැඩ්මින්ටන් – ඩී. එස්. සේනානායක හා රාජකීය විද්‍යාලය
  • චෙස් – දෙමටගොඩ සාන්ත ජෝන් විද්‍යාලය
  • දැල්පන්දු – ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගණය
  • පිහිණුම් – සුගතදාස පිහිණුම් තටාකය
  • ඇරොබික් ජිම්නාස්ටික් – සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය
  • කරාතේ – සාන්ත ජෝශප් විද්‍යාල ක්‍රීඩාගාරය
  • කබඩි – මොරටු මහා විද්‍යාලය
  • කැරම් – සමුද්‍ර දේවී බාලිකා විද්‍යාලය
  • ත්‍රෝබෝල් – වේල්ස් කුමර විද්‍යාලය
  • මල්ලවපොර – අශෝක විද්‍යාලය
  • බර එසවීම – ක්‍රීඩා අමාත්‍යාංශය

ඔක්තෝබර් 4

  • අර්ධ මැරතන් – බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව

ඔක්තෝබර් 3, 4, 5, 6

  • පාපන්දු – නගර පාපන්දු පිටිය, එම්. එච්. එම් මොහොමඩ් පිටිය, ශාලිකා පිටිය, කැම්බල් සුගතදාස හා ඊ. ඒ්. ගුණසිංහ පිටිය

ඔක්තෝබර් 4, 5, 6, 7, 8 හා 9

  • පැසිපන්දු – සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, ප්‍රෙස්බිටේරින් ජාතික පාසල, සාන්ත ජෝසප් පිරිමි විද්‍යාලය නුගේගොඩ හා සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය, රාජකීය විද්‍යාලය, සාන්ත පීතර, ඩී. එස්. සේනානායක, යහපත් එඩේරාගේ කන්‍යාරාමය, ගේට්වේ විද්‍යාලය රාජගිරිය හා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය.

ඔක්තෝබර් 5, 6, හා 7

  • ක්‍රිකට් – ආනන්ද ශාස්ත්‍රාලය, ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විද්‍යාලය, බුද්ධදාස ක්‍රීඩාංගණය හා සුභූති විද්‍යාල පිටිය.
  • ටයිකොන්ඩෝ – පානදුර සුමංගල විද්‍යාලය
  • වොලිබෝල් – සීදූව දවිසමර විද්‍යාලය (ඔක්තෝබර් 8 ද පැවැත්වේ)

ඔක්තෝබර් 6, 7

  • රගර් – රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණය

ඔක්තෝබර් 6, 7, 8 හා 9

  • ජූඩෝ – ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාගාරය

ඔක්තෝබර් 7, 8 හා 9

  • පාපැදි – පාර්ලිමේන්තු වටරවුම (ඔක්තෝබර් 7, 8 පමණි)
  • හොකි – රාජකීය විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය, කෘතීම හොකි පිටිය
  • ජිම්නාස්ටික් – සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය
  • මේස පන්දු – ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

ඔක්තෝබර් 7, 8, 9, 10

  • එල්ලේ – එස්. ද. එස්. ජයසිංහ විද්‍යාලය, එස්. ද. එස්. ජයසිංහ ක්‍රීඩා පිටිය, කඳවල මහා විද්‍යාලය,හින්දු විද්‍යාලය
  • බොක්සිං – රාජකීය විද්‍යාලය

ඔක්තෝබර් 11, 12, 13, 14 හා 15

  • මලල ක්‍රීඩා – දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට