සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගාවලිය හෙටින් ඇරඹේ

457

ශ්‍රී ලංකා පාසල් අත්පන්දු සංගමය මඟින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ තරග මෙම මස (ජුනි) 15, 16 හා 17 තෙදින මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයීය ප්‍රධාන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගාවලිය පිළිබඳව ThePapare.com ගෙන එන විග්‍රහයකි මේ.

ඊවා කුසලාන දැල්පන්දු තරගාවලියට සියල්ල සූදානම්

ඊවා කුසලාන දැල්පන්දු තරගාවලිය එළඹෙන ජූලි 01 සහ 02 යන දිනයන්වල දී කොළඹ – 2 ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ…

ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගාවලියක් ශ්‍රී ලංකා පාසල් අත්පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන්නේ 2011 වසරේ දී ය. ඒ අනුව 2011 වසරේ දී තරගාවලිය වයස අවුරුදු 15න් පහළ හා 19න් පහළ වශයෙන් වයස් කාණ්ඩ 2ක් යටතේ පවත්වනු ලැබීය. අනතුරුව 2011 වසරේ සිට මේ දක්වා සෑම වසරක් පාසාම මෙම තරගාවලිය පවත්වන්නට ශ්‍රී ලංකා පාසල් අත්පන්දු සංගමය කටයුතු කරනු ලැබීය. ඒ අනුව මෙම වසරේ දී තරගාවලිය පැවැත්වෙන්නේ 7 වෙනි වරටයි. තරගාවලිය පිරිමි හා කාන්තා තරග අංශ දෙක ඔස්සේ පැවැත්වේ. ශ්‍රී ලංකාවේ පාසල් මට්ටමේ ක්‍රීඩකයින් සඳහා පැවැත්වෙන ප්‍රධානතම තරගාවලිය වන මෙම තරගාවලියේ ජයග්‍රාහකයින් ශ්‍රී ලංකා පාසල් ජාතික වර්ණ සඳහා සුදුසුකම් ලබයි.

තරගාවලියේ ඉතිහාසය දෙස හැරී බැලූ කළ පිරිමි තරග අංශවල වැඩි ගෞරවය මොරටුව වේල්ස් කුමර විදුහල හිමි කර ගනිද්දී, කාන්තා අංශයේ වැඩි ගෞරවය දිනා ගැනීමට සමත්ව ඇත්තේ ගලේවෙල මැදබැද්ද මහා විද්‍යාලය යි. 2011 වසරේ දී පැවති අභිනව තරගාවලියේ දී වයස් කාණ්ඩ දෙකේම පිරිමි ශූරතාවය වේල්ස් කුමාර විදුහල් කණ්ඩායම් ජයග්‍රහණය කරද්දී, වයස අවුරුදු 19න් පහළ කාන්තා ශූරතාවය දිනා ගනු ලැබුවේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලය යි. 2012 වසරේ දී හැර තරගාවලිය පැවැත්වූ අනෙක් සෑම වසරක දී ම පිරිමි තරග අංශයේ පැවති ඉහළම වයස් කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සමත් වී ඇත. 2012 වසරේ දී ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට සිදු විය. විශේෂයෙන් 2014 වසරේ දී පැවති තරගාවලියේ ශූරතා කුසලානයේ පළමු හා දෙවන ස්ථාන දෙකම එම විදුහලේ කණ්ඩායම් දෙකක් විසින් දිනා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.

අනෙක් පසින් කාන්තා තරග අංශයේ වැඩිම ශූරතා ගණනක් දිනා ගැනීමට සමත්ව ඇත්තේ ගලේවෙල මැදබැද්ද මහා විද්‍යාලය යි. 2012 වසරේ සිට පැවති සෑම තරගාවලියකම ශූරතාවය ජයග්‍රහණය කරන්නට ඔවුන් සමත් විය.

පසුගිය වසරේ පැවති තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ පිරිමි ශූරතාවය සුපුරුදු පරිදි මොරටුව වේල්ස් කුමර විදුහල් කණ්ඩායම දිනා ගනිද්දී එහි අනුශූරතාවය දිනා ගැනීමට කොළඹ නාලන්ද විදුහල් කණ්ඩායම සමත් විය. එම වයස් කාණ්ඩයේම කාන්තා ශූරතාවය ගලේවෙල මැදබැද්ද විදුහල් ක්‍රීඩිකාවන් විසින් ජයග්‍රහණය කළ අතර එහි අනුශූරියන් බවට පත්වූයේ කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලය යි.

ඒ අනුව මෙම වසරේ තරගාවලිය පිළිබඳව අවධානය යොමු කරද්දී එය වයස අවුරුදු 14න්, 16න්, 18න් හා 20න් පහළ වශයෙන් වයස් කාණ්ඩ 04ක් යටතේ පැවැත්වේ. එළඹෙන 15, 16 හා 17 තෙදින තුළ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන්නේ තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ තරගයි. පෙර වසරවල දී මෙන් මෙවර ද තරගාවලිය පිරිමි හා කාන්තා තරග අංශ ඔස්සේ පැවැත්වෙනු ඇත.

තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 20ක් තරග වදින අතර එම කණ්ඩායම් කාණ්ඩ 04කට බෙදා දක්වා ඇත. ඒ අනුව එක් කාණ්ඩයක සිටින කණ්ඩායම් ගණන 05කි. අනෙක් පසින් තරගාවලිය සඳහා තරග වදින කාන්තා කණ්ඩායම් 14ක් ද කාණ්ඩ 04කට බෙදා වෙන්කර ඇත. කණ්ඩායම් 04 බැගින් ඇති කාණ්ඩ 02ක් ද, කණ්ඩායම් 03 බැගින් ඇති කාණ්ඩ 02ක් ද වන ලෙස එය බෙදා දක්වා ඇත.

තරගාවලිය අවසානයේ ශූරතා කුසලානය, පළඟ ශූරතාවය සහ බඳුන ශූරතාවය වශයෙන් කුසලාන තුනක් සඳහා 1, 2 හා 3 ස්ථාන පිරිනැමෙනු ඇත. සුපුරුදු පරිදි පිරිමි තරග අංශයේ ජයග්‍රහණය ප්‍රබල වේල්ස් කුමර විදුහල් කණ්ඩායම සතු වීමට වැඩි ඉඩක් ඇතත් පසුගිය වසරේ දී මෙන් මෙම වසරේ දී ද ඔවුන්ට කොළඹ නාලන්ද විදුහලෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වනු නොඅනුමානයි. කාන්තා තරග අංශයේ දී ද ප්‍රබල ගලේවෙල මැදබැද්ද විදුහල් කණ්ඩායමත්, කොළඹ බෞද්ධ කාන්තා විදුහල් කණ්ඩායමත් ශූරතාවය සඳහා කරට කර තරගයක නිරත වෙනු ඇතැයි අපේක්ෂා කළ හැක.

හෙට දිනයේ (15) ආරම්භ වන වයස අවුරුදු 20න් පහළ තරග වල සියලුම ප්‍රතිඵල ඔබ වෙත ගෙන එන්නට ThePapare.com අපි සූදානම්.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට