යුධ හමුදා ශූරතා ගමනට ගුවනින් ප්‍රහාරයක්

193

අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් කාන්තා පාපන්දු තරගාවලියේ ශූරතාව කරා යුධ හමුදා කණ්ඩායම නිරුපද්‍රිතව යමින් සිටි ගමනට බාධකයක් වෙමින්, ඒකල ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩාංගණයේ පැවති තරගය ගෝල 3 – 2ක් ලෙස ජය ගන්නට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.

ජාවා ලේන් ක්‍රීඩකයින් බන්ධනාගාර ක්‍රීඩකයෝ මට්ටු කරයි

2016/17 කාර්ගීල්ස් ෆුඩ් සිටි එෆ්. ඒ. කුසලාන තරගාවලියේ තුන්වන වටයේ තරගයක් ..

මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ ප්‍රබල යුධ හමුදා ක්‍රීඩිකාවන් සමඟ සටන් වැදීම සඳහා ගුවන් හමුදා ක්‍රීඩිකාවන් මෙම තරගයට පිවිසුණේ සුවිශාල අභියෝගයක් අතැතිවයි. තරගාවලියේ ශූරතාව පිළිබඳ බලාපොරොත්තු ආරක්ෂා කර ගැනීම සඳහා පැවති එම අභියෝගය ඉතා විශාල වුවත් එහි ඉලක්කය අතිශය පැහැදිලි එකක් විය. එනම් තරගාවලියේ සක්‍රීයව රැඳී සිටින්නට නම්, මේ තරගය කෙසේ හෝ ජය ගැනීම පමණි.

ගුවන් හමුදා ක්‍රීඩිකාවන් එම අභියෝගයට සාර්ථක පිළිතුරක් රචනා කිරීමේ මුල් පියවර තබන්නට වැඩි කාලයක් වැය කළේ නැත. ආරම්භක සංඥාවේ සිටම යුධ හමුදා ක්‍රීඩිකාවන්ට පීඩනය හරවා යැවූ ඔවුන් මිනිත්තු 3ක් ගත වන විට ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් විය. I. M. විතානගේ වාර්තා කළ පළමු ගෝලයත් සමඟින් තරගයේ පාලනය තමන් සතු කර ගත් ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පළමු අර්ධය තුළ එක මොහොතකට හෝ ආපසු හැරී බැලුවේ නැත.

S. ගුණසේකර වාර්තා කළ ගෝලයකින් ගුවන් හමුදා කණ්ඩායමේ වාසිය දෙගුණ වෙද්දී, යුධ හමුදා කණ්ඩායම වෙතින් දක්නට ලැබුණේ ගුවන් හමුදාවෙන් එල්ල කරන නිරන්තර ප්‍රහාර හමුවේ නිරුත්තරව සැඟවීමේ උත්සාහයක නිරතව සිටින බවකි.

එම වේදනාව තවත් වැඩි කරමින් ගුවන් හමුදා කණ්ඩායම තම ගෝල සංඛ්‍යාව 3දක්වා ඉහල දමා ගත්තේ C. S. ෆ්‍රැන්සිස් විසින් එල්ල කල සරල නිදහස් පහරක් ගෝලය තුලට දෝලනය වන විට එය වළක්වා ගැනීමට යුධ හමුදා දැල් රකින්නිය අසමත් වීම හේතුවෙනුයි. යුධ හමුදා ක්‍රීඩිකාවන්ට ගෝලයක් වාර්තා කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් හිමි වුවද, E. K. ලියනගේ විසින් එල්ල කළ එම නිදහස් පහර ගෝලය වෙත යාම වළක්වන්නට S. යුවරානි සමත් වීමත් සමඟ පළමු අර්ධයේ ගෝල සංඛ්‍යාව නොවෙනස්ව පැවතුනි.

ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පළමු අර්ධය අවසන් කර ගෝල 3ක පරතරයක් සහිතව විවේකය සඳහා පිවිසුණේ, යුධ හමුදා ක්‍රීඩිකාවන් හට දැවැන්ත අභියෝගයක් මෙන්ම උෂ්ණාධික කාලගුණ තත්ත්වයේ අභියෝගය ද ඉතිරි කරමිනුයි.

පළමු අර්ධය: ගුවන් හමුදාව 3 – 0 යුධ හමුදාව

කෙසේ වෙතත් ලද විවේකයේ දී නැවත සේනා සංවිධානය කරමින් දෙවන අර්ධයට පිවිසි යුධ හමුදා ක්‍රීඩිකාවන් තම ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට ගත කළේ මිනිත්තු කිහිපයක් පමණි. N. C. කරුණාරත්න සංචාරක කණ්ඩායම වෙනුවෙන් එම පළමු ගෝලය වාර්තා කරන ලදි.

එම ආරම්භයෙන් ලද මානසික ශක්තිය සමඟ දිගින් දිගටම ගුවන් හමුදා ආරක්ෂක පෙළ වෙත අභියෝග කරන්නට යුධ හමුදා ක්‍රීඩිකාවන් කටයුතු කළ ද, ගුවන් හමුදා ක්‍රීඩිකාවන් තම අන්තය ආරක්ෂා කර ගැනීමට සමත් විය. කෙසේ වෙතත් අවසානයේ යුධ හමුදා ක්‍රීඩිකාවන් ගුවන් ආරක්ෂාව බිඳ දමන්නට සමත් වුනේ, යාර 25ක පමණ දුරක සිට එල්ල කළ නිදහස් පහරක් දැල වෙත හරවා යවන්නට E. K. ලියනගේ කටයුතු කිරීමත් සමඟයි. මේ අනුව තරගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගත්තේ ගෝල පරතරය එකකට සීමා වීම හේතුවෙනුයි.

අවසන් මිනිත්තු කිහිපය තුළ යුධ හමුදා ක්‍රීඩිකාවන්ට ප්‍රතිවාදී දැල ආක්‍රමණය කිරීම සඳහා අවස්ථා කිහිපයක් හිමි වුව ද, ඔවුන්ගේ නොඉවසිලිමත් භාවය හේතුවෙන් අවසන් ප්‍රතිඵලයක් දකින්නට අවස්ථාව හිමි නොවුනි. මේ අනුව තරගයේ අවසන් සංඥාව නිකුත් වන විටත් යුධ හමුදාව පසුපසින් සිටියේ මෙවර ශූරතාව පිළිබඳ බලාපොරොත්තුව ද සෑහෙන තරම් දුරක් පසුපසට දමා ගනිමිනුයි.

අවසන් ලකුණු සටහන: ගුවන් හමුදාව 3 – 2 යුධ හමුදාව

ThePapare.com තරගයේ ක්‍රීඩිකාව: N. C. කරුණාරත්න (යුධ හමුදාව)

තරගයෙන් අනතුරුව ThePapare.com වෙත අදහස් දැක්වූ ගුවන් හමුදා කණ්ඩායමේ සහාය පුහුණුකරු N. දර්ශන මෙසේ පැවසීය.

”අපි පළමු අර්ධයේ දී හොඳින් ක්‍රීඩා කළා. නමුත් දෙවන අර්ධයේ දී පිටිය හරහා හමා ගිය සුළං හේතුවෙන් අපේ ක්‍රීඩා රටාව දුර්වල වූවත් කෙසේ හෝ තරගය ජය ගන්නට තරම් හොඳ ආක්‍රමණයක් රඳවා ගන්නට හැකි වුනා. පළමු අර්ධය තුල තවත් ගෝල වාර්තා කිරීමේ අවස්ථා තිබුණත් ඒවා නිවැරදිව අවසන් කරන්නට හැකියාව ලැබුණේ නැහැ.”

ගෝල ලබා ගත් ක්‍රීඩිකාවන්

  • ගුවන් හමුදා ක්‍රී. ස. : I. M. විතානගේ (3′), R. S. ගුණසේකර (18′), C. S. ෆ්‍රැන්සිස් (33′)
  • යුධ හමුදා ක්‍රී. ස.  – N. C. කරුණාරත්න (47′), E. K. ලියනගේ (77′)
 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට