ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ පිරිමි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වෙන ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම විමත් දින්සර ගේ නායකත්වය යටතේ දිවයිනෙන් පිටත් ව ගියා.
මෙම තරගාවලිය මේ මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අතර එහි දී ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත් ව සිටින්නේ ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ නේපාලයයි.
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන
- දෙසැම්බර් 13 වැනිදා – නේපාලය සමඟින් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- දෙසැම්බර් 15 වැනිදා – ඇෆ්ගනිස්තානය සමඟින් ඩුබායි ICCAක්‍රීඩාංගණයේ දී.
- දෙසැම්බර් 17 වැනිදා – බංග්ලාදේශය සමඟින් ඩුබායි ICCA ක්‍රීඩාංගණයේ දී.
තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් ඉන්දියාව, මැලේසියාව, පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම් එක් වෙනවා.
- රොෂේන් සිල්වා ලකුණු 10 000 සමාජයට
- ශ්‍රී ලංකා ක්රිකට් වෙතින් Rebuilding Sri Lanka වෙනුවෙන් රුපියල් මිලියන 300ක්
- ශ්‍රී ලංකා පොඩ්ඩෝ කඩුලු 9ක ජයක් ලබයි
- මීළඟ LPL තරගාවලිය සඳහා දින නියම වෙයි
- 2026 T20 ලෝක කුසලානයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි!
තරගාවලිය සඳහා එක් වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක්තවය හිමි කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරන විමත් දින්සර නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළා. ඔහු එම තරගාවලිය නිමා කරන්නේ තරග 7ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 192ක් ලබා ගනිමිනුයි.
කණඩායමේ උප නායකත්වය හිමි ව තිබෙන්නේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන කවිජ ගමගේ වෙතයි. ඔහු නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී තරග 7ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 269ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් ශ්‍රී ලංකා පිතිකරුවා වූ අතර කඩුලු 8ක් දවා ගනිමින් ශ්‍රී ලංකාවේ වැඩිම දවාගැනීම් සිදු කළ පන්දු යවන්නන් අතර තෙවැනියා බවට ද පත් වූවා. එමෙන් ම එම තරගාවලියේ වාර්තා කළ එක ම ශතකයේ හිමිකාරීත්වය ද ඔහු සතු වූවා.
නම් කරන ලද කණ්ඩායමට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ විරාන් චමුදිත ද ඇතුලත්. ඔහු නිමා වූ බටහිර ඉන්දීය කෙදෙව් සංචාරයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූවන් අතර 2 වැනි අසුන හිමිකර ගත්තා. ඔහු එහි දී තරග 7ක දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 234ක් ලබා ගන්නවා.
එමෙන් ම කණ්ඩායමට එක් වූ ක්‍රීඩකයන් අතර කොළඹ මහානාම විද්‍යාලයේ දිමන්ත මහවිතාන සේ ම චාමික හීනටිගල ද ඇතුලත්. ඔවුන් දෙදෙනා ද බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් දෙදෙනෙක්.
නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ වැඩිම කඩුලුලාභියා වූ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ පා දඟ පන්දු යවන විග්නේශ් ආකාශ් ද ඇතුලත් අතර ඔහු එහි දී ලබා ගත් කඩුලු සංඛයාව 20ක්. කඩුලු 9ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ 2 වැනියා වූ දකුණතින් මඳ වේග පන්දු යවන සෙත්මික සෙනෙවිරත්න ද මෙම කණ්ඩායමට ඇතුලත්.
මොවුන් සමඟින් මෙම කණ්ඩායම හා එක් වූ ක්‍රීඩකයන් අතුරින් වැඩි ම ප්‍රමාණයක් එක් කර ඇත්තේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් වීම විශේෂත්වයක්. ඒ අනුව දිමන්ත මහවිතාන, ආදම් හිල්මි සහ සෙත්මික සෙනෙවිරත්න ඊට එක් ව සිටිනවා. ඊට අමතර ව මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙක් බැගින් ද එක් ව සිටිනවා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විමත් දින්සර (නායක – රාජකීය විද්‍යාලය, කොළඹ), කවිජ ගමගේ (උප නායක – කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර), දිමන්ත මහවිතාන (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), විරාන් චමුදිත (සාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර), දුල්නිත් සිගේරා (මහානාම විද්‍යාලය, කොළඹ), චාමික හීනටිගල (මහානාම විද්‍යාලය, කොළඹ), ආදම් හිල්මි (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), චමිරිඳු නෙත්සර (සාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර), කිත්ම විදානපතිරණ (ආනන්ද විද්‍යාලය, කොළඹ), සෙත්මික සෙනෙවිරත්න (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), සනුජ නිඳුවර (සාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල), කුගතාස් මාතුලන් (සාන්ත ජෝන්ස් විද්‍යාලය, යාපනය), රසිත් නිම්සර (ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල), විග්නේශ්වරන් ආකාශ් (සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ) සහ තරුෂ නවෝද්‍ය (සහිරා විද්‍යාලය, කොළඹ).
දෙස් විදෙස් ක්‍රීඩා පිටිය උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















