ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට රත්ගම, දේවපතිරාජ විද්‍යාලය සමත් වූවා.
කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූයේ කොළඹ රාජකීය විද්‍යාලයයි.
පැවැති අයහපත් කාලගුණ තත්ත්වය මත පන්දුවාර 49කට සීමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජකීය විද්‍යාලයීය නායකයාගේ ආරාධනා මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දේවපතිරාජ විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 192ක් ලබා ගන්නවා. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රාජකීය විද්‍යාලයට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 159ක් පමණයි.
ඒ අනුව තරගයෙන් ලකුණු 33ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දේවපතිරාජ විද්‍යාලය සමත් වෙනවා.
කොළඹ, රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
අභිරු අමරසේකර (නායක), රමිරු තිරාණගම, රවිනු රණතුංග, හර්ෂෙල් ඩෑන්, නිම්සර ද සිල්වා, චවේන් ද සිල්වා, රිසඳු රන්දිර, තෙවන් වෛද්‍යනායක, තලාල් කමිල් (කඩුලු රකින්නා), විශ්මිද ප්‍රනාන්දු සහ මහිම සිල්වා.
රත්ගම, දේවපතිරාජ විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
දියත් සංජිත (නායක), දෙනෙත් පැහැසර, ශනිඳු සිනෙත් මිකේශර, හිමංස එලිත්ප්‍රිය, ගෞතම් සූර්යා, දෙනුවන් යෝශිත, මෙනෙත් සංකලන, දෙනෙත් දිනුක, සිනෙත් මධුසංක, මනීශ සසඳුන් සහ පෘතුවි හිමාශ.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දේවපතිරාජ විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු ශනිඳු සිනෙත් මිකේශර. ඔහු පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.
ඔහු එම ඉනිම තුළ දී ගෞතම් සුර්යා සමඟ එක් වෙමින් පන්දු 126ක දී ලකුණු 72ක සබඳතාවක් ද ගොඩ නගනවා. එහි දී ගෞතම් සූර්යා පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් දවා ගන්නවා.
ඊට අමතර ව හිමංස එලිත්ප්‍රිය පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ද සහ දෙනුවන් යෝසිත පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී මහිම සිල්වා ලකුණු 22කට කඩුලු 2ක් ද සහ විශ්මිද ප්‍රනාන්දු ලකුණු 47කට කඩුලු 2ක් ද බැගින් දවා ගත් අතර ඊට අමතර ව නිම්සර ද සිල්වා සහ චවේන් ද සිල්වා කඩුල්ලක් බැගින් දවා ගන්නවා.
- කොළඹ දකුණ දැවැන්ත ජයග්‍රහණයක් සමඟින් යොවුන් ශූරතාව දිනා ගනි
- ගාල්ල සහ කොළඹ දකුණ අවසන් මහා තරගයට අසුන් වෙන්කර ගනී
- කොළඹ දකුණ අපරාජිතව පළමු වටය අවසන් කරයි
- ආසියානු කුසලානයේ කෙල්ලන්ගේ සෙල්ලං
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වෙනවා. ඔවුන්ගේ ඉනිම ආරම්භ කළ රමිරු තිරාණගම සහ රවිනු රණතුංග එක් ව එම කඩුල්ලට ලකුණු 46ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ රවිනු රණතුංග ගේ දැවී යෑමත් සමඟින්. ඒ වෙද්දී ඔහු පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.
ඉන් අනතුරු ව රමිරු තිරාණගම හා එක් වූ හර්ෂෙල් ඩෑන් 2 වැනි කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ හර්ෂෙල් ඩෑන් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව රාජකීය ඉනිමට ලකුණු 5ක් එක් වෙද්දී එතෙක් රාජකීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා ව සිටි රමිරු තිරාණගම ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 78ක් ලබා සිටියා.
ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව රාජකීය විද්‍යාලයීය කණ්ඩායමේ අනෙක් සියලු පිතිකරුවන්ගේ ඉනිම් තනි ඉලක්කමකට සීමා වූ අතර ඔවුන්ගේ ඉනිමේ අවසන් කඩුලු 7 ලකුණු 33ක් තුළ දවා ගැනීමට දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා.
එහි දී දෙනෙත් දිනුක ලකුණු 43කට කඩුලු 3ක් ද සහ දියත් සංජිත ලකුණු 47කට කඩුලු 3ක් ද බැගින් දවා ගත්තා. ඊට අමතර ව මෙනෙත් සංකලන සහ ගෞතම් සූර්යා කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- රත්ගම, දේවපතිරාජ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 192 (49.0) ශනිඳු සිනෙත් මිකේශර 51, හිමංස එලිත්ප්‍රිය 20, ගෞතම් සූර්යා 45, දෙනුවන් යෝශිත 19, මහිම සිල්වා 2/22, විශ්මිද ප්‍රනාන්දු 2/47
- කොළඹ, රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 159 (43.5) රමිරු තිරාණගම 78, රවිනු රණතුංග 22, හර්ෂෙල් ඩෑන් 33, දියත් සංජිත 3/47, දෙනෙත් දිනුක 3/43, මෙනෙත් සංකලන 2/17, ගෞතම් සූර්යා 2/18
රත්ගම දේවපතිරාජ විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට ලකුණු 33ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















