2026 පාපන්දු ලෝක කුසලානයේ 34 වැනි සහ අවසන් දිනය අද (20) අලුයම නිමාවට පත් වුනා.
මෙවර තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම් දෙකක් ලෙස ස්පාඤ්ඤය සහ ආජන්ටිනාව අද පැවැත්වුණු ලෝක කුසලාන අවසන් තරගයට අවතීර්ණ වුනා.
මෙය ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගත් දෙවැනි අවස්ථාව වූ අතර, මින් පෙර ඔවුන් 2010 ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබමින් පළමු වරට ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් වුනා.
අනෙක් පසින් ආජන්ටිනාව 2022 ලෝක ශූරතාව ජය ගැනීමට සමත් වෙමින්, මෙවර තම කිරුළ රැක ගැනීමේ අදිටනින් සහ සිව්වැනි ලෝක කුසලානය උරුම කර ගැනීමේ අරමුණින් යුතුවයි පිටියට අවතීර්ණ වුනේ.
කෙසේ වෙතත් මෙම තරගය ආරම්භ වූ මොහොතේ පටන් කණ්ඩායම් දෙකටම ඉක්මනින් ගෝල වාර්තා කරමින් ඉදිරියට යාමට හැකි වුනේ නැහැ.
විශේෂයෙන්ම මෙවර තරගාවලිය පුරාවට තම ප්‍රතිවාදීන්ට එක් ගෝලයක් පමණක් ලබා දෙමින් ස්පාඤ්ඤය දියත් කළ ඉතා විශිෂ්ට ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය මෙයට විශාල හේතුවක් වූ අතර, අනෙක් පසින් ආජන්ටිනාව වෙනුවෙන් දැල් රකින ක්‍රීඩක Emiliano Martinez අති විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ස්පාඤ්ඤ ගෝල උත්සාහයන් රැසක් නතර කරලීමට සමත් වුනා.
සමස්ත තරගය තුළ ආජන්ටිනා ක්‍රීඩකයින්ට දැල ඉලක්ක කරමින් එකදු පහරක් හෝ එල්ල කිරීමට නොහැකි වීම ස්පාඤ්ඤ ආරක්ෂක පෙළේ ශක්තිමත් බව මොනවට ඔප්පු කරනවා. එමෙන්ම ආජන්ටිනාව සමස්ත තරගය තුළ එල්ල කිරීමට සමත් වී තිබුණේ පහර (දැල ඉලක්ක නොකරමින් හෝ) තුනක් පමණයි.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මේ අතර අනෙක් පසින් ස්පාඤ්ඤය විසින් දැල ඉලක්ක කර ගනිමින් පහර 11ක් එල්ල කිරීමට සමත් වීම විශේෂත්වයක්.
තරගයේ පළමු අර්ධය සහ දෙවැනි අර්ධය තුළ එකදු කණ්ඩායමක් හෝ ගෝල වාර්තා නොකිරීම මත තරගය අතිරේක කාලය දක්වා ඇදී ගිය අතර, ඊට පෙර තරගයේ 90+3 මිනිත්තුවේ දී ආජන්ටිනා ක්‍රීඩක Enzo Fernandez තරගය තුළ සිය දෙවැනි කහ කාඩ් පතත් ලබමින්, රතු කාඩ් පතක් සමඟ පිටියෙන් ඉවත් වී ගියා.
ඉන් අනතුරුව ආජන්ටිනාව තරගයේ ඉතිරි අතිරේක කාලය ක්‍රීඩකයින් දස දෙනෙකු සමඟ ක්‍රීඩා කළ අතර, මෙහි දී තරගයේ 106 වැනි මිනිත්තුවේ දී ස්පාඤ්ඤ ක්‍රීඩක Ferran Torres විසින් තරගයේ වාර්තා වූ එකම ගෝලය ලබා ගැනීමට සමත් වුනා.
ඒත් සමඟින් ම ස්පාඤ්ඤය විසින් 2026 පාපන්දු ලෝක කුසලානයේ ජය තහවුරු කර ගැනීමට සමත් වූ අතර, Lionel Messi ප්‍රමුඛ ආජන්ටිනාවට අනුශූරයින් ලෙස තරගාවලිය අවසන් කිරීමට සිදු වුනා.
මෙය ස්පාඤ්ඤයේ දෙවැනි ලෝක ශූරතාව වන අතර, මෙම ජයත් සමඟ ලෝක කුසලාන එකකට වඩා ජය ගත් ලොව හත් වැනි රට ලෙස ඔවුන් ඉතිහාසයට එක් වුනා.
මේ අතර මෙවර තරගාවලියේ ස්පාඤ්ඤය ක්‍රීඩා කළ තරග 08න් 07ක් තුලම ප්‍රතිවාදීන්ට එකදු ගෝලයක් හෝ ලබා නොදී Clean Sheets පවත්වා ගැනීමට ද ඔවුන් සමත් වූ අතර, එයත් නව වාර්තාවක් ලෙස සටහන් වුනා. එමෙන්ම ස්පාඤ්ඤය මේ දක්වා තරග 38ක් තුළ අපරාජිත ගමනක යෙදෙන අතර, පාපන්දු ඉතිහාසය තුළ කණ්ඩායමක් දක්වා ඇති හොඳම තරග අපරාජිත රැල්ල මෙය ලෙස වාර්තා අතරට එක් වී තිබෙනවා.
එමෙන්ම Lionel Messi හට නැවත වරක් ලෝක කුසලාන ජයක් සැමරීමට ඉඩ නොලැබෙන අතරම, Lamin Yamal ලෝක ශූරතාවක් දිනා ගත් ලොව සිව්වැනි ළාබාලතම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වුනා.
2026 ලෝක කුසලානයේ දී සම්මාන බෙදී ගිය අයුරු;
- Golden Ball (හොඳම ක්‍රීඩකයා) – Rodri (ස්පාඤ්ඤය)
- Silver Ball – Lionel Messi (ආජන්ටිනාව)
- Bronze Ball – Kylian Mbappe (ප්‍රංශය)
- Golden Boot (වැඩිම ගෝල ලාභියා) – Kylian Mbappe
- Silver Boot – Lionel Messi
- Bronze Boot – Jude Bellingham (එංගලන්තය)
- Golden Glove (හොඳම දැල් රකින්නා) – Unai Simon (ස්පාඤ්ඤය)
- Best Young Player – Pau Cubarsi (ස්පාඤ්ඤය)
- FIFA Fair Play Award – නෙදර්ලන්තය
2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කළ සේම, ඉදිරියේ දී ලෝක පාපන්දු ක්‍රීඩාව පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>





















