රුමේෂ් පළමු Diamond League තරග අත්දැකීමට සූදානමින්!

Diamond League 2026 - Rabat Morocco

2
Rumesh Tharanga

Diamond League මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි තරග අදියර එළඹෙන මැයි 31 වැනි දා මොරොක්කෝවේ Rabat හිදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරග අදියරේ පැවැත්වෙන හෙල්ල විසි කිරීම තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුමේෂ් තරංග සහභාගී වන බව තහවුරු වී තිබෙනවා.

හෙල්ල විසි කිරීමේ ඉසව්ව වෙනුවෙන් මෙම වසරේ හොඳම දක්ෂතා ද්විත්වයම දැක්වීමට සමත් වී සිටින රුමේෂ් විසින් එළඹෙන 31 වැනි දා තම පළමු Diamond League තරග අත්දැකීම විඳ ගැනීමට සූදානමින් සිටිනවා.

රුමේෂ් විසින් මෙම වසරේ දී මීටර් 89.37ක් සහ මීටර් 89.28ක දුරක් හෙල්ලය විසි කිරීමට සමත් වී ඇති අතර, ඉන් පසුව ලොව හොඳම දක්ෂතාව ලෙස සටහන් වන්නේ මීටර් 85.65ක දක්ෂතාවකුයි.

මෙම තරග ඉසව්වේ දී රුමේෂ් සමඟින් ලොව නම් දැරූ හෙල්ල විසි කිරීමේ ශූරයින් කිහිප දෙනෙකු ම තරග බිමට පිවිසීමට සූදානමින් සිටිනවා. ග්‍රෙනේඩාවේ Peters Anderson, ජර්මනියේ Thomas Rohler, ඇමරිකාවේ Curtis Thompson, චෙක් ජනරජයේ Jakub Vadlejch මෙන්ම, කෙන්යාවේ Julius Yego ද මෙහි දී තරග බිමට අවතීර්ණ වීමට නියමිතයි.

මීට අමතරව එදින පැවැත්වීමට නියමිත අනෙක් තරග ඉසව්වල දී ද ලොව නම් දැරූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග බිමට අවතීර්ණ වීමට සූදානමින් සිටිනවා.

මේ අතර කාන්තා උස පැනීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන යුක්‍රේනයේ Yaroslava Mahuchikh, පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් ඇමරිකාවේ Quincy Hall, කාන්තා මීටර් 100 ඉසව්ව නියෝජනය කරන ජැමෙයිකාවේ Tina Clayton, පිරිමි මීටර් 200 ඉසව්ව වෙනුවෙන් ඇමරිකාවේ Kenneth Bednarek, කැනඩාවේ Andre De Grasse මෙන්ම කාන්තා මීටර් 200 ඉසව්ව නියෝජනය කරමින් ජැමෙයිකාවේ Shericka Jackson ද තරග බිමට පිවිසීමට සූදානමින් පසු වනවා.

මෙම Diamond League මලල ක්‍රීඩා තරගාවලිය එළඹෙන ඉරිදා රාත්‍රි 10.10 සිට ආරම්භ වීමට නියමිත අතර, රුමේෂ් සහභාගී වන තරග ඉසව්ව ශ්‍රී ලංකා වේලාවෙන් ජුනි මස 01 දින මධ්‍යම රාත්‍රි 12.11ට ආරම්භ වීමට නියමිතයි.

රුමේෂ්ගේ දක්ෂතා පිළිබඳ මෙන්ම, සමස්ත Diamond League මලල ක්‍රීඩා තරගාවලිය පිළිබඳවත් උණුසුම් තතු විත්ති ඔබ හමුවේ තැබීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>