චාමික, සිනෙත් සහ දුල්නිත් දක්ෂතා දක්වයි

20th Battle of the Golds

5
20th Battle of the Golds

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 20 වැනි වරටත් පැවැත්වෙන රන් ගැටුම වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (9) 2 වැනි දිනයට නතර කරද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරන මහානාම විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 161ක් ලබා සිටියා.

ඔවුන් එම ඉනිම ක්‍රීඩා කරන්නේ ඩී. එස්. සේනානායක විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 344ට පිළිතුරු ලෙසයි.

ඒ අනුව මහානාම විද්‍යාලයට මෙම තරගයේ පළමු ඉනිමේ වාසිය ලබා ගැනීමට නම් අවසන් දිනයේ දී ලකුණු 183ක් ලබා ගත යුතු අතර ඒ වෙනුවෙන් ඔවුන්ගේ ඉනිමේ කඩුලු 10 ම ඉතිරි ව තිබෙනවා.

>>රන් ගැටුමට මියුරු ශතකයක්<<

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වෙන මෙම තරගය අද දෙවැනි දිනයට ආරම්භ වෙන්නේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඩී. එස්. සේනානායක විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 195ක් ලබා සිටියදීයි.

ඒ අනුව ආරම්භ වූ තරගයේ දිනයේ පළමු ගොදුර බවට පත් වෙන්නේ හමිඩ් අෆ්ඩාල් (10). ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 3 වැනි පන්දුවේ දී ශෙවාන් වෙල්ගම ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා.

ඉන් අනතුරු ව ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙසින් ශනාල් බිනුශ්ක පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 23කට දැවී ගියා. ඒ වෙද්දී ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ඉනිම ලකුණු 261ක් ව තිබූ අතර එතැන් සිට රන්දීශ බණ්ඩාරනායක සහ චනුල් අතලේ එක් ව 8 වැනි කඩුල්ලට ලකුණු 70ක සබඳතාවක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ රන්දීශ බණ්ඩාරනායක ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 48ක් ලබා සිටි අතර චනුල් අතලේ 9 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී වමතින් පා දඟ පන්දු යැවූ චාමික හීනටිගල ලකුණු 100කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව සිතුම් විහඟ, සනුක ගනේපොල, වෙනුර කවීත්‍ර සහ දුල්නිත් සිගේරා කඩුල්ල බැගින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට එක් වූ මහානාම විද්‍යාලයීය ඉනිම ආරම්භ කරන්නේ සිනෙත් වීරරත්න සහ දුල්නිත් සිගේරා විසිනුයි. ඔවුන් දෙදෙනා තරගය 2 වැනි දිනයට අවසන් වෙනතුරුත් ඉනිමේ නොදැවී රැඳී සිටිමින් පන්දු 210ක දී නොදැවුණ ලකුණු 161ක් පළමු කඩුල්ලට රැස් කරනවා.

ඒ වෙද්දී සිනෙත් වීරරත්න පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 83ක් ද සහ දුල්නිත් සිගේරා පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 72ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනා පාලනය කිරීමට ඩී. එස්. සේනානායක විද්‍යාලයීය නායකයා විසින් පන්දු යවන්නෝ 7 දෙනෙක් කැඳවූව ද ඔවුන් කිසිවෙක්ට සාර්ථක වීමට හැකි වූයේ නැහැ.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 344 (119.0) මියුරු බණ්ඩාර 100, සිත්රු ගුණරත්න 26, ජනිඳු රණසිංහ 24, ශෙවාන් වෙල්ගම 27, ශනාල් බිනුක්ෂ 23, රන්දීශ බණ්ඩාර 48, චනුල් අතලේ 47, චාමික හීනටිගල 6/100
  • මහානාම විද්‍යාලය – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 161 (34.0) සිනෙත් වීරරත්න නොදැවී 83, දුල්නිත් සිගේරා නොදැවී 72

මහානාම විද්‍යාලය ලකුණු 183ක් පිටුපසින්.

මෙම තරගය හෙට (10) 3 වැනි සහ අවසන් දිනයට පැවැත්වීමට නියමිතයි.

රන් සටන වාර්ෂික තුන් දින ක්‍රිකට් තරගයේ සජීවී දසුන් Dialog Television හී ThePapare TV 1 නාලිකා අංක 62 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<