ජනිත් සහ දෙනුර ගුරුකුල ඉනිමට ජීවය දෙයි

36th Battle of Kelani

8
U 19 Cricket

කැළණිය ගුරුකුල විද්‍යාලය සහ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර 36 වැනි වරටත් පැවැත්වෙන කැළණි සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී (3දා) සක්‍රීය වූවා.

එම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගුරුකුල විද්‍යාලය තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 228ක් ලබා සිටියා.

ගුරුකුල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

දෙනුර දිමන්සිත් (නායක), ජනිත් මිහිරංග, ඔහස් සදෙව්, ඉඳුවර ඔෂද, අතීශ මලිඳු, ශාන් ජුමත්, අදීප පිංසර, සහස් ඉඳුවර, නෙතුප සංදිව්, ලෙශාන් සත්සර සහ ඉමන්ත අදීශන.

 

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

ඔමාල් විහඟ (නායක), සතිඳු ප්‍රබෝධ, කවීන් දෙනෙත් (කඩුලු රකින්නා), ටිශාන් නිපුන්, මෙවන් රන්දීපන, තරුෂ මිහිරංග, කෝෂිත ආදිත්‍ය, සෙනුක පැහැසර, මිනුක දින්සර, සෙනුක් නිලේෂ් සහ දම්සිත් බද්දගේ.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගුරුකුල විද්‍යාලයීය ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 29ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ධර්මාලෝක ක්‍රීඩකයෝ සමත් වෙනවා.

එලෙසින් ඔවුන්ගේ පාලනයට ගිය කැළණි සටන නැවත ගුරුකුල විද්‍යාල වෙත හැරවෙන්නේ සිව් වැනි කඩුල්ලේදීයි. එහි දී ජනිත් මිහිරංග සහ දෙනුර දිමන්සිත් එක් ව එම කඩුල්ලට ලකුණු 114ක සබඳතාවක් ගොඩ නගනවා.

දෙනුර දිමන්සිත් පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

ඊට අමතර ව එම ඉනිමට නැවත ගෞරවනීය ලකුණු සබඳතාවක් එක් වෙන්නේ 6 වැනි කඩුල්ල වෙනුවෙනුයි. එම කඩුල්ලේ දී ජනිත මිහිරංගට එක් වෙන්නේ ඔහස් සදෙව්. ලකුණු 45කින් යුත් එම සබඳතාව බිඳ වැටෙන්නේ ඔහස් සදෙව් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා.

දිනය අවසන් වෙද්දී වමතින් පන්දුවට පහර දුන් ජනිත් මිහරංග පන්දු 218කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් නොදැවී ලකුණු 96ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යැවූ සතිඳු ප්‍රබෝධ ලකුණු 60කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව තරුෂ මිහිරංග සහ මිනුක දින්සර අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ගුරුකුල විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 228 (75.0) ජනිත් මිහිරංග නොදැවී 96, දෙනුර දිමන්සිත් 67, ඔහස් සදෙව් 21, සතිඳු ප්‍රබෝධ 5/60

මෙම තරගය අද (4) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<