එංගලන්ත බලාපොරොත්තු වනසා දැමූ ඉන්දියාව අවසන් මහා තරගයට

ICC Men's T20 World Cup 2026

12
ICC Men's T20 World Cup - 2nd Semi Final
ICC Men's T20 World Cup - 2nd Semi Final

10 වැනි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට ඉන්දීය ක්‍රීඩකයෝ අද (5) සමත් වෙනවා. ඔවුන් අවසන් මහා තරගයක් සඳහා එක් වෙන සිව් වැනි අවස්ථාවයි මේ.

Mumbai හි Wankhede ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම පළමු අවසන් පූර්ව තරගයේ දී ඔවුන් ප්‍රතිවාදී එංගලන්ත ක්‍රීඩකයන්ට එරෙහි ව ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම අවස්ථාව සපුරා ගන්නවා.

දෙරට ක්‍රීඩකයෝ විසින් මෙම තරගයේ දී කඩුලු 14ක් දැවී ලකුණු 499ක් රැස් කරන ලද අතර එය ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.

මෙම ඉනිම් ද්විත්වයේ දී හයේ පහර 24ක් සහ හතරේ පහර 39ක් එක් වූ අතර ඉන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයෝ හයේ පහර 9ක් සහ හතරේ පහර 18ක් ද සහ හඹා යන ඉනිමට එක් වූ එංගලන්ත ක්‍රීඩකයෝ හයේ පහර 15ක් සහ හතරේ පහර 21ක් ද තරගයට එක් කළා.

>>නවසීලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී<<

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරන එංගලන්ත නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 253ක් ලබා ගන්නවා. එය මෙවර තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර 3 වැනි තැනට පත් ඉනිමයි.

එපමණක ලකුණු ප්‍රමාණයකට ගිය ඉන්දීය ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 20ක් වෙද්දී අහිමි වෙනවා. නමුත් 2 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ Sanju Samson සහ Ishan Kishan පන්දු 45ක දී ලකුණු 97ක සබඳතාවක් ගොඩ නගනවා.

එම කඩුල්ලේ සබඳතාව අහිමි වෙන්නේ Ishan Kishan ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.

Sanju Samson ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 89ක් ලබා සිටියා. එය ඔහු මෙවර තරගාවලියේ පිට පිට වාර්තා කරන ලද 2 වැනි අර්ධ ශතකය වූ අතර ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 61ක 5 වැනි අර්ධ ශතකයයි.

එම කඩුල්ලට දැවී යන විට ඔහු Shivam Dube හා එක් ව පන්දු 22ක දී ලකුණු 43ක් ද එක් කරනවා.

Shivam Dube ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 43ක් ලබා සිටියා. අනතුරු ව Hardik Pandya පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ද සහ  Tilak Varma පන්දු 7ක දී හයේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Will Jacks සහ Adil Rashid කඩුලු ද්විත්වයක් බැගින් ද Jofra Archer කඩුල්ලක් ද ලෙසින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයන්ට සාර්ථක ලකුණු සංඛ්‍යාවක ආරම්භයක් ලබා ගත හැකි වුව ද කඩුලු දැවී යෑම ආරක්ෂා කාරී වූයේ නැහැ. ඔවුන් තම පළමු පන්දුවාර 6 තුළ ලකුණු 68ක් ලබා ගත්ත ද ඒ වෙද්දී කඩුලු ත්‍රිත්වයක් ද අහිමි කර ගන්නවා.

ඒ අතර Phil Salt (5), නායක Harry Brook (7) සහ Jos Buttler (25) ද වෙනවා. අනතුරු ව සිව් වැනි කඩුල්ලට Tom Banton ද ලකුණු 17ක් ලබා සිටිය දී ඉනිම හැර යන අතර ඒ වෙද්දී එංගලන්ත ඉනිම දැක් වුණේ කඩුලු 4ක් දැවී ලකුණු 95ක් ලෙසයි.

එම දැවී යෑමෙන් අනතුරු ව ඉන්දීය ක්‍රීඩකයන්ට තරමක වෙහෙසකර කාලයකට මුහුණ දීමට සිදු වුණා. ඒ 22 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු Jacob Bethell සහ 27 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු Will Jacks එක් ව තම ලකුණු මැෂින් ක්‍රියාත්මක කිරීමත් සමඟිනුයි.

ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 39ක දී ලකුණු 77ක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Will Jacks ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.

එම දැවී යෑමෙන් අනතුරු ව Jacob Bethell සමඟ එක් වෙන්නේ Sam Curran. ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 27ක දී ලකුණු 50ක සබඳතාවක් ගොඩ නගනවා. Sam Curran එම කඩුල්ලට ගොදුරු වෙද්දී පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියා.

Jacob Bethell තමන් මුහුණ දුන් 45 වැනි පන්දුවේ දී හයේ පහරක් එල්ල කරමින් 31ක් වන විස්සයි විස්ස තරග දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට සමත් වෙනවා. දුවද්දී දැවී යෑමකට ගොදුරු වෙමින් ඔහුගේ ඉනිම අවසන් වෙද්දී පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 105ක් ලබා ගැනීමට ඔහු සමත් ව සිටියා.

එංගලන්ත ඉනිමේ දී ඔවුන්ට ජයග්‍රහණය කරා යෑමේ දී අවසන් පන්දු 18 දී ලකුණු 45ක් ද අවසන් පන්දු 12දී ලකුණු 38ක් ද සහ අවසන් පන්දු 6 දී ලකුණු 30ක් ද ලෙසින් අවශ්‍ය වූවා. එහෙත් ඔවුන්ගේ එම ගමන නිමා වූවේ ප්‍රතිවාදීන්ට වඩා තවත් ලකුණු 7ක් පිටු පසින් සිටිමිනුයි.

එංගලන්ත ඉනිම තවත් කඩුලු 3ක් ඉතිරි ව අවසන් වෙද්දී Jofra Archer පන්දු 4ක දී හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Hardik Pandya කඩුලු 2ක් ද Jasprit Bumrah, Axar Patel, Arshdeep Singh සහ Varun Chakravarthy එක් ව කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දියාව – කඩුලු 7ක් දැවී 253 (20.0) Sanju Samson 89, Ishan Kishan 39, Shivam Dube 43, Hardik Pandya 27, Tilak Varma 21, Will Jacks 2/40, Adil Rashid 2/41
  • එංගලන්තය – කඩුලු 7ක් දැවී 246 (20.0) Jos Buttler 25, Jacob Bethell 105, Will Jacks 35, Jofra Archer නොදැවී 19, Hardik Pandya 2/38

ඉන්දීය කණ්ඩායමට ලකුණු 7ක ජයක්.

තරගයේ වීරයා – Sanju Samson (ඉන්දියාව)

තරගාවලියේ අවසන් මහා තරගය මාර්තු මස 8 වැනිදා ඉන්දියාව සහ එංගලන්තය අතර Ahmedabad හී Narendra Modi ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්ම, සජීවී තරග අත්දැකීම ද ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<