වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ද සහයෝගය ඇතිව 32 වැනි වරටත් සංවිධානය කරන MCA Super Premier League ක්‍රිකට් තරගාවලියේ 2 වැනි අවසන් පූර්ව තරගයෙන් මෙතෙක් අපරාජිත ව සිටි CDB A කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට Hayleys Group A ක්‍රීඩකයෝ සමත් වෙනවා.
කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී පැවැති මෙම තරගයෙන් Hayleys Group A කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායමේ තවත් පන්දු 52ක් ඉතිරි ව තිබිය දී ලකුණු 63ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
පෙර දිනයේ වර්ෂාව හේතුවෙන් අද (27) දවස දක්වා කල් ගිය මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් CDB A කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Hayleys Group A ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 282ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ලෙසින් CDB A ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 219ක් පමණයි.
Hayleys Group A
රමේෂ් මෙන්ඩිස් (නායක), නිශාන් මදුශ්ක, රොන් චන්ද්‍රගුප්ත, අහන් වික්‍රමසිංහ, සදීර සමරවික්‍රම, ඉනුක කරන්නාගොඩ, මිනෝද් භානුක (කඩුලු රකින්නා), ලහිරු සමරකෝන්, කවිශ්ක අංජුල, ප්‍රභාත් ජයසූරිය සහ ට්‍රෙවීන් මැතිව්.
CDB A
ලහිරු මදුශංක (නායක), ලහිරු උදාර (කඩුලු රකින්නා), අවිශ්ක ප්‍රනාන්දු, ඔෂද ප්‍රනාන්දු, නිපුන් ධනංජය, පවන් රත්නායක, සොනාල් දිනූෂ, මුදිත ලක්ෂාන්, මොවින් සුබසිංහ, තරිඳු රත්නායක සහ ප්‍රමෝද් මදුශාන්.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Hayleys Group A කණ්ඩායමේ පළමු පන්දුවාර 10 ඇතුලත කඩුලු 4ක් දැවී යන අතර ඊට පසුව කඩුල්ලට එක් වූ නායක රමේෂ් මෙන්ඩිස් තම කණ්ඩායමේ සියලු වගකීම් තමා පිට පවරා ගත්තා. ඔහු එතැන් සිට පිටියේ රැඳී සිටිමින් එම ඉනිම අවසන් වන විට පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 153ක් ලබා ගත්තා.
ඒ අනුව ඔහු 5 වැනි කඩුල්ලට ඉනුක කරන්නාගොඩ සමඟ එකතු වෙමින් පන්දු 90ක දී ලකුණු 37ක සබඳතාවක් ද, මිනෝද් භානුක හා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 89ක දී ලකුණු 73ක සබඳතාවක් ද, ලහිරු සමරකෝන් සමඟ එක් වෙමින් 7 වැනි කඩුල්ලට පන්දු 28ක දී ලකුණු 34ක සබඳතාවක් ද සහ කවිශ්ක අංජුල හා එක් ව 8 වැනි කඩුල්ලට පන්දු 26ක දී ලකුණු 63ක සබඳතාවක් ද එක් කරනවා.
මේ අතුරින් කවිශ්ක අංජුල හා එක් ව ගොඩනැගූ ලකුණු 63ක සබඳතාවේ දී කවිශ්ක අංජුල ලබා ගන්නේ පන්දු 7ක දී ලකුණු 5ක් පමණක් වීම කැපී පෙණුනා.
Hayleys Group A කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස්ට අමතර ව මිනෝද් භානුක පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 50ක් ද, නිශාන් මදුශ්ක පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ද සහ ලහිරු සමරකෝන් පන්දු 17ක දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී තරිඳු රත්නායක ලකුණු 36කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ප්‍රමෝද් මදුශාන් කඩුලු 2ක් ද සහ සොනාල් දිනූෂ, මුදිත ලක්ෂාන් සහ ලහිරු මදුශංක කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- Maliban Biscuits A අවසන් තරගයට සුදුසුකම් ලබා ගනී
- අංජල බණ්ඩාර නායකත්වයේ ඉනිමක
- සොහාන් ද ලිවේරා ශතක සමාජයට
- CDB A සහ Maliban Biscuits A අවසන් පූර්ව වටයට
- CDB A තව දුරටත් අපරාජිතයි
හඹා යන ඉනිමට පිටියට පිවිසි CDB A කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වෙනවා. ඔවුන්ගේ ඉනිම ආරම්භ කළ ලහිරු උදාර සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් එක් කරනවා.
එහි දී අවිශ්ක ප්‍රනාන්දු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ද සහ ලහිරු උදාර පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ද ලබා ගත්තා.
ඊට අමතර නිපුන් ධනංජය සහ පවන් රත්නායක 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක සබඳතාවක් එක් කළා. පවන් රත්නායක පන්දු 42කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ද සහ නිපුන් ධනංජය පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී කවිශ්ක අංජුල ලකුණු 28කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා වූ අතර ඊට අමතර ව ඉනුක කරන්නාගොඩ සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු ද්විත්වය බැගින් ද, රමේෂ් මෙන්ඩිස් හ ට්‍රෙවීන් මැතිව් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Hayleys Group A – කඩුලු 8ක් දැවී 282 (50.0) නිශාන් මදුශ්ක 25, රමේෂ් මෙන්ඩිස් නොදැවී 153, මිනෝද් භානුක 50, ලහිරු සමරකෝන් 19, ප්‍රමෝද් මදුශාන් 2/59, තරිඳු රත්නායක 3/36
CDB A – සියලුම දෙනා දැවී 219 (41.2) ලහිරු උදාර 31, අවිශ්ක ප්‍රනාන්දු 43, නිපුන් ධනංජය 30, පවන් රත්නායක 40, මොවින් සුබසිංහ 24, කවිශ්ක අංජුල 4/28, ප්‍රභාත් ජයසූරිය 2/49, ඉනුක කරන්නාගොඩ 2/43
Hayleys Group A කණ්ඩායමට ලකුණු 63ක ජයක්.
මෙම ජයග්‍රහණයත් සමඟින් පළමු අවසන් පුර්ව තරගය ජයග්‍රහණය කළ Maliban Biscuits A කණ්ඩායම සමඟින් අවසන් මහා තරගයට Hayleys Group A කණ්ඩායම සුදුසුකම් ලබා ගත් අතර එම තරගය පැවැත්වීමේ දින මේ වන විට ප්‍රකාශයට පත් වී නැහැ.
මෙම තරගය ThePapare.com, ThePapare 1 (Dialog TV Chanal 62) සහ Dialog ViU app ඔස්සේ නැරඹිය හැකියි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















