කොදෙව් සටන සොහාන්ගේ කර මතින්

Sri Lanka Emerging Team Tour of West Indies

5

මැද පෙළින් පිටියට පිවිසි 24 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු සොහාන් ද ලිවේරා ගේ සටහන්කාමී සහ ඉවසිලිවන්ත ඉනිමත් සමඟින් සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු සිව්දින තරගයේ දී ශ්‍රී ලංකාවේ පළමු ඉනිම ලකුණු 292කට සීමා වෙනවා. ඉන් ලකුණු 130ක් ම ලබා ගන්නේ සොහාන් ද ලිවේරා.  

Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමු දිනයේ ම (07) පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය ඇකඩමි ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සිටියා.  

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම 

ධනංජය ලක්ෂාන් (නායක), රවිඳු රසාන්ත, ශෙවෝන් ඩැනියෙල්, ජනිශ්ක පෙරේරා, නිපුන් ධනංජය, අහන් වික්‍රමසිංහ, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), දිලුම් සුදීර, අශේන් ඩැනියෙල්, සිතුම් දිසානායක සහ දුලාජ් සමුදිත. 

 

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම 

Teddy Bishop (නායක), Ackeem Auguste, Nathan Edward, Mbeki Joseph, Kelvin Pitman, Rivaldo Clarke, Carlon Bowen-Tuckett (කඩුලු රකින්නා), Joshua Bishop, McKenny Clarke, Raneico Smith සහ Justin Jagessar. 

කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතු කළ අතර ඒ අනුව ඉනිම ආරම්භ කළේ රවිඳු රසාන්ත සහ ශෙවෝන් ඩැනියෙල් විසින්.  

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 70ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකාවට යහපත් ආරම්භයක් ලබා දුන්නා. ශෙවෝන් ඩැනියෙල් පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ශ්‍රී ලංකාවට අහිමි වෙනවා.  

අනතුරු ව පිටියට පිවිසියේ ජනිශ්ක පෙරේරා. ඔහුගේ පැමිණීමෙන් අනතුරු ව ලකුණු 9ක් පමණක් ශ්‍රී ලංකා ඉනිමට එක්වෙද්දී අනෙක් ආරම්භක පිතිකරු රවිඳු රසාන්ත ද තම ඉනිම හැර යනවා. ඔහු දැවී යන විට පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.  

එම දැවී යෑම ශ්‍රී ලංකාවට අවාසනාව එක් කරමින් තවත් ලකුණක් පමණක් එකතු වෙද්දී නිපුන් ධනංජය සහ අහන් වික්‍රමසිංහ එක ම පන්දු වාරයක දී ලකුණු නොලබා ම දැවී යනවා. ඒ සමඟම නායක ධනංජය ලක්ෂාන් ගේ ඉනිම ද පන්දු 13කදී එක් කරගත් හතරේ පහරක් සමඟින් ලකුණු 5කට සීමා වීම ශ්‍රී ලංකාව බලාපොරොත්තු නොවූ තත්ත්වයකට ඇද දැමුවා.  

ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ ඉදිරි පෙළ කඩුලු 5ක් අහිමි ව තිබූ අතර ශ්‍රී ලංකා ඉනිමට එක් ව තිබුණේ ලකුණු 89ක් පමණයි. ශ්‍රී ලංකාව වැටී සිටි එම අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩ ගැනීමට ඉන් අනතුරු ව කඩුල්ලේ දී එක් වූ සොහාන් ද ලිවේරා සමග ජනිශ්ක පෙරේරා ගේ සහයෝගය ලැබෙනවා. පන්දු වාර 18ක් පුරා තම කඩුලු ආරක්ෂා කර ගත් ඔවුන් කොදෙව් පන්දු යවන්නන්ට මුහුණ දෙමින් ශ්‍රී ලංකාවට ගෞරවනීය ලකුණු පුවරුවක් එක් කරනවා.  

ඔවුන් දෙදෙනා විසින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100ක සබඳතාවක් එක් කළ අතර ඒ සමඟ ම ජනිශ්ක පෙරේරා ගේ ඉනිම අහිමි වීමත් සමඟින් එම සබඳතාව ද බිඳ වැටෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා.  

අනතුරු ව 7 වැනි කඩුල්ල ලෙසින් දිලුම් සුදීර ලකුණු නොලබා ම ද, 8 වැනි කඩුල්ල ලෙසින් ද අශේන් ඩැනියෙල් පන්දු 33ක දී හතරේ පහරක් ද සමඟින් ලකුණු 9ක් ලබා සිටිය දී ද දැවී යනවා.  

නැවතත් කඩා වැටෙමින් තිබූ එම ඉනිමට 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක් එක් කිරීමට සොහාන් ද ලිවේරා සහ සිතුම් දිසානායක  සමත් වෙනවා. ඒ සමඟින් එතෙක් සාර්ථක ඉනිමක නිරත වූ සොහාන් ද ලිවේරා ගේ ඉනිම ද අවසන් වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 130ක් ලබා සිටියා. 

එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 6 වැනි ශතකය මෙන් ම විදෙස් කණ්ඩායමකට එරෙහි ව ලබා ගත් මංගල ශතකයයි.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව සිතුම් දිසානායක සහ දුලාජ් සමුදිත අවසන් කඩුල්ලට ලකුණු 24ක් එක් කළ අතර දුලාජ් සමුදිත ගේ දැවී යෑමත් සමඟින් ශ්‍රී ලංකා ඉනිම ද අවසන් වෙනවා. දුලාජ් සමුදිත පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 9ක් ලබා ගත් අතර සිතුම් දිසානායක ඉනිම අවසන් වන විට පන්දු 33කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 17ක් ලබා සිටියා.  

ශ්‍රී ලංකා ඉනිමට ප්‍රබල තර්ජනයක් එල්ල කළ 22 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Kelvin Pitman ලකුණු 28කට කඩුලු 7ක් දවා ගන්නවා. එම කඩුලු අතරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉලක්කම් 2 ලකුණු ලබා ගත් පිතිකරුවන් සිව් දෙනෙක් ම ඇතුලත් කර ගැනීමට ද ඔහු සමත් වීම කැපී පෙණුනා. මෙම දක්ෂතාව ඔහුගේ පළමු පෙළ තරග 10ක හොඳම පන්දු යැවීමයි.  

ඔහුට අමතර ව Nathan Edward කඩුලු 2ක් ද සහ McKenny Clarke කඩුල්ලක් ද දවා ගන්නවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල 2 වැනි පන්දු වාරයේ දී දවා ගැනීමට 22 හැවිරිදි වියේ පසුවෙන වමතින් මඳ වේග පන්දු යවන දුලාජ් සමුදිත සමත් වෙනවා. ඒ වෙද්දී ප්‍රතිවාදී ඉනිමට එක් වී තිබුණේ ලකුණක් පමණයි.  

කෙසේ වෙතත් ඔවුන් තරගය පළමු දිනයට නතර කරන විට එම කඩුල්ලෙන් පමණක් නතර කර ගැනීමට සමත් වුණා. එහි දී ආරම්භක වමත් පිතිකරු Ackeem Auguste පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා සිටියා. අනෙක් අන්තයෙන් පිටියේ රැඳී සිටි Mbeki Joseph පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 7ක් ලබා සිටියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 292 (65.4) රවිඳු රසාන්ත 24, ශෙවෝන් ඩැනියෙල් 47, ජනිශ්ක පෙරේරා 38, සොහාන් ද ලිවේරා 130, සිතුම් දිසානායක නොදැවී 17, Nathan Edward 2/58, Kelvin Pitman 7/28
  • බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම – පළමු ඉනිම කඩුල්ලක් දැවී 34 (9.0) Ackeem Auguste 24 

තරගය අද (08) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ . 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<