තවත් බාර්සිලෝනා ප්‍රබලයෙක් කණ්ඩායමට සමුදෙයි

354

දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රකට බාර්සිලෝනා පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ආරක්ෂක ක්‍රීඩක Jordi Alba වසර 11කට පසු බාර්සිලෝනා කණ්ඩායමට සමුදීමට තීරණය කර තිබෙනවා.

ඔහුගේ ගිවිසුම 2023-24 කාලසීමාව දක්වා පැවැත්වුනත්, කණ්ඩායම් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ගිවිසුම අවලංගු කර ගැනීමට ඔහුට හැකි වූ බව වාර්තා වෙනවා.

“බාර්සිලෝනා පවුල වෙනුවෙන් කළ කැප කිරීම්, සෑම විටම පෙන්වා ඇති වෘත්තීය භාවය වෙනුවෙන් Jordi Alba වෙත බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් ප්‍රසිද්ධියේ කෘතඥතාව පුද කර සිටිනවා,” යැයි බාර්සිලෝනා කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

2012 වසරේ දී බාර්සිලෝනා සමඟ එක් වූ Jordi Alba, කණ්ඩායම සමඟ එක්ව La Liga කුසලාන හයක් සහ ශූරයින්ගේ කුසලානයක් ඇතුළුව සමස්ත ශූරතා 19ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

එමෙන්ම තරග 450ක දී සිය කණ්ඩායම නියෝජනය කළ ඔහු කණ්ඩායම වෙනුවෙන් ගෝල 27ක් සහ assists 97ක් සම්පූර්ණ කිරීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

“ඒක ඇත්තටම ඉතාමත් හොඳ ගමනක්. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණ විශාල සහය වගේම මට හොඳ මතක ගොඩක් බාර්සිලෝනා කණ්ඩායමෙන් ලැබුණා. බාර්සිලෝනා කණ්ඩායම හැමදාම මගෙ හදවතේ ඉහළින් ම තිබෙනවා.,” යැයි Alba ප්‍රකාශ කළා.

ඔහු සිය නායකයා වන Sergio Busquetsගේ අඩි පාරේ යමින් Real Mallorca සමඟ සිය සත්කාරක ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් පසු සමුගැනීම සිදු කරන බව කණ්ඩායම තහවුරු කර තිබෙනවා.

ඔහුගේ ගිවිසුම අවසන් වීමට තවත් වසරක් ඉතිරිව තිබුනත් කණ්ඩායමේ මූල්‍ය අර්බුදයට සහනයක් ලබා දීම සඳහා ඔහුගේ ස්ථානය අත හැරීමට ඔහු එකඟ වී තිබෙන බව ද වාර්තා වෙනවා.

“මේ අමාරු කාලේ මට හැමදේම ලබා දුන්න ක්‍රීඩා සමාජය ගැන හිතලා වැඩ කරන එකයි වැදගත්ම දේ. මගේ සමුගැනීමෙන් පසුවත් බාර්සිලෝනා කණ්ඩායම දියුණු වෙනවා දකින්නයි මට ඕන,” යැයි Alba ප්‍රකාශ කළා.

ක්‍රීඩා සමාජය වෙනුවෙන් මෙන්ම සිය රට වෙනුවෙන් ද කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ Alba, 2012 වසරේ යුරෝපා කුසලානය දිනූ ස්පාඤ්ඤ කණ්ඩායම නියෝජනය කළා.

ඔහු බාර්සිලෝනා කණ්ඩායමෙන් සමුගැනීමත් සමඟ සෞදි අරාබි කණ්ඩායමක් සමඟ ගිවිසුම්ගත වීමට වැඩි ඉඩකඩක් ඇති බව ද වාර්තා වෙන අතර ඔහුට අමතරව ප්‍රබල ක්‍රීඩක Lionel Messi සහ Sergio Busquets ද මීළඟ තරග වාරයේ නව කණ්ඩායම් සමඟ එක් වීමට නියමිතයි.

දේශීය සහ ජාත්‍යන්තර පාපන්දු පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Times of India ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<