“සියලු වැරදිවල වගකීම ඔබ ගත යුතුය”. නිකරුණේ මා මෙසේ ඔබට කිවහොත් ඔබේ ප්‍රතිචාරය මාගේ කන් පිරෙන වදනක් හෝ කන හරහා පහරක් විය හැකිය. එහෙත් ඒ කිසිවක් නොකොට අවලාද කියන්නන්ට ක්‍රිකට් පිත්තෙන් පිළිතුරු ලබා දෙන්නෙකු සිටියි.
ඔහු නමින් “උපුල්”ය. මින් පෙර ලිපියේදීත් කතා කළ අන්දමට “උපුල්”ලා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇලජික් ය. උපුල් චන්දික හතුරුසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් නෙරපූ ආකාරයත්, උපුල් චන්දනට ක්‍රිකට් සැඳෑ සමයක් අහිමි කළ අයුරුත් හැරුණු විට වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇලජික් වූ “උපුල්” වන්නේ ආරම්භක පිතිකරු උපුල් තරංග ය.
ඔබේ සහසක් අවලාද මැද මේ වසරේ වැඩිම ශ්‍රී ලාංකික එක්දින ලකුණු හිමිකරුවා වන්නේ තරංගයි. මේ වසරේ දී එක්දින ලකුණු 1000 පසුකළ ලොව පිතිකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු වන තරංග, ඉන්දියාවේ විරාත් කෝලිට සහ රෝහිත් ශර්මාට පමණක් පසුපසින් සිටියි.
ආරම්භක පිතිකරුවන් අතින් ශ්‍රී ලංකාව පින්බර ය. මෙරට දුහුවිලි සහිත දේශීය තණතීරු නොතකා සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, මාවන් අතපත්තු, ටී. එම්. ඩිල්ෂාන් ආදී විශිෂ්ට ආරම්භක පිතිකරුවන් මෙරටින් බිහිවූ අතර 2005 වසරේදී මෙම නාමාවලියට එක්වූ උපුල් තරංග හැමගේ සිත දිනාගත්තේ ඊටත් පෙර සිටමයි.
වයස අවුරුදු 19ක ළාබාල ක්‍රීඩකයෙකු ලෙස 2004 පැවති 19න් පහළ ලෝක කුසලානයට සහභාගී වූ තරංග, දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 117ක් සහ ඉන්දියාවට එරෙහිව පන්දු 42කදී ලකුණු 61ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඇස ගැටුණු අතර පසුව 19න් පහළ කණ්ඩායම සමඟ සාර්ථක පාකිස්තානු සංචාරයක ද නිරත වුණේ තරගාවලිය තුළ අර්ධ ශතක 4ක් ලබා ගනිමිනි.

බංගලාදේශයට එරෙහිව තම සිව්වැනි එක්දින ඉනිමේ දී ලකුණු 60කුත්, පස්වැනි ඉනිමේ දී ලකුණු 105කුත් වාර්තා කළ තරංග බලධාරීන්ගේ විශ්වාසය තහවුරු කළේය. තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ පළමු වසර පසුකරන්නටත් පෙර ශතක 6ක් වාර්තා කළ තරංග ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් අතර නමක් දිනාගත්තේ අනෙක් අන්තයේ ආරම්භක පිතිකරු හා දිගු සබඳතාවයන් පැවැත්විය හැකි පිතිකරුවෙකු වශයෙනි.

එක්දින ක්‍රිකට් වංශ කතාව තුළ අභිමානවත් ජාතියක් වන ශ්‍රී ලංකාව (දැන් තත්වය කණගාටුදායක වුවත්) පළමු කඩුල්ල සඳහා ලකුණු 200ක් හෝ ඊට වැඩි සබඳතාවයන් පැවැත්වූ අවස්ථාවන් 10ක් සනිටුහන් කොට ඇත. තරංගගේ විශිෂ්ටත්වය ඔබට පැනයක් නම්, මෙය හොඳින් කියවන්න! ශ්‍රී ලංකාව පළමු කඩුල්ල සඳහා ලකුණු 200 පසුකළ එක්දින ඉනිම් 10න් 7කම එක් අන්තයක තරංගගේ නම සටහන්ව ඇත.
2013 දී ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 174ක් වාර්තා කළ ඉනිම තරංගගේ හොඳම එක්දින ඉනිමයි. ශ්‍රී ලාංකිකයෙකු එක්දින ඉනිමක වාර්තා කළ වැඩිම ලකුණු ලැයිස්තුවේ දී එය දෙවැනි වන්නේ ඉන්දියාවට එරෙහි සනත් ජයසූරියගේ ලකුණු 189ට පමණි.
අතිදක්ෂ කාල මනින්නෙකු වන තරංගගේ පහරවල්වල කල් මැනීම කෙතරම් උසස් දැයි මැනගන්නට නම් ඔබ ඔහුගේ පහරකට කන් යොමන්න. එවන් පැහැදිලි ශබ්දයක් තරංගගේ පිත්තෙන් හැර වෙනත් වත්මන් ශ්‍රී ලාංකික පිත්තකින් නැගෙනු මම නම් අසා නැත්තෙමි. ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරාගේ පහරවල් ඇඟේ ශක්තිය උපයෝගී වන ඒවා ය. එහෙත් තරංගගේ පහරවල් නිරායාසයෙන් හතරේ, හයේ සීමාවන් පසුකරන්නේ ඒවායේ කාල මැනීම තත්පර දශමයටම පරිපූර්ණ වූ නිසා බැව් ඔබ දන්නවා ද?
ඒ විතරක් නොවේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින ශතක වාර්තා කළ පිතිකරුවන් පස්දෙනා අතුරින් දැනට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන එකම ශ්‍රී ලාංකිකයා තරංග ය. තරංග එක්දින ශතක 15ක් ලබා එම ලැයිස්තුවේ පස්වැනි ස්ථානය හොබවන අතර සිය 16 වැනි එක්දින ශතකය ඔහුට පසුගිය ඉන්දියා – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ අවසන් තරගයේ දී අහිමි වූයේ ලකුණු 5කිනි. එතෙක් කිසිදු දිනෙක ලකුණු 90-99 සීමාවේ දී දැවීගොස් නොතිබුණු මේ වමත් පිතිකරුවා එක්දින ශතකයක් අභියස දැවී ගිය පළමු අවස්ථාව එයයි.
එහි දී දුටු තවත් විශේෂ වෙනස්කමක් මෙහි සටහන් කරමි. තරංග සාමාන්‍යයෙන් පිට ඉන්නෙන් පිටත පහරවල් වලට ප්‍රිය කරන්නෙකි. 2013 වසරේ මැද භාගයේ සිට 2016 මැද භාගය වන තෙක් ඔහුගේ ලකුණු දත්තයන්ට හානි කළ ප්‍රදේශය ද එයයි. ඔහුගේ ස්ක්වෙයාර් කට් (square cut), කවර් ඩ්‍රයිව් (cover drive) සහ කට් (cut) පහරවල් විශ්ලේෂණය කළ ප්‍රතිවාදීන් ඔහුව දවාගත හැකි ඉලක්කය හඳුනා ගත්තේය. ජාත්‍යන්තර ක්‍රිකට්වල ස්වභාවය එයයි. එහෙත් එම වරද නිවැරදි කරගෙන නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙන්නට තරංග සමත් විය.

2016/17 තරගවාරයේ දී ක්‍රිකට් අනාථයන් බවට පත්වූ අරාජික ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට නායකත්වය සැපයීම ඔහුට භාරකෙරෙන ලදි. ඔහුට තරග ජය ගැනීම අපහසු විය. ඇතැම් විට මඳවේගයෙන් පන්දු ඕවර යැවීමේ වේගය පැවතීම පිළිබඳ දඩ කන්නට ද ඔහුට සිදු විය. එහෙත් තරගවල දී ප්‍රතිවාදීන් ශ්‍රී ලංකාවට පන්න පන්නා පහර දෙන විට තරංගට යම් කාලයක් ගැනීමට සිදු වූ අතර ඒ සියල්ල ශ්‍රී ලංකාව වෙනුවෙන් නිහඬව විඳදරාගන්නට ඔහුට සිදු වූයේ “සහසක් අවලාද”ද මධ්‍යයේයි.
දැන් ශ්‍රී ලංකාව වෙනස් ක්‍රිකට් මඟක් ගැනීමට සූදානම් බවක් පෙනී යයි. ආබාධවලට ලක්වූ කුසල් පෙරේරා, අසේල ගුණරත්න නැවත කණ්ඩායමට එක්ව ඇත. 2010 දී ශ්‍රී ලංකාවෙන් අසාධාරණ ලෙස නෙරපූ චන්දික හතුරුසිංහ, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය භාරගෙන ඇත. ටෙස්ට් තරග වෙනුවෙන් තරංගගේ දායකත්වය එතරම් සාධනීය නොවන මට්ටමක දී වුව එක්දින තරග සඳහා ඔහුගේ වැදගත්කම යළිත් අපට පැහැදිලි වෙමින් පවතී. ජයග්‍රහණයකින් තරග අවසන් කිරීම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට තවමත් ගැටලුවක් වුවද තරංගගේ නැගිටීම මා දකින්නේ අඳුරු වලාවක රිදී රේඛාවක් ලෙසින්.

2004 දී ඓතිහාසික ව්‍යසනයට හසුවූවන් අතර තරංග ද සිටියේය. එහෙත් ඉන් ඔහු ශක්තිමත් වූවා මිස දුර්වල වූයේ නැත. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වැටුණු පසුබිමක උපුල් තරංග යළි ගොඩනැගෙමින් සිටියි. ඔහුගේ ශක්තිය නිවැරදි ලෙස යොදාගැනීම දැන් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට භාර ය. එසේ නොවුණහොත් නැවත අත්විඳිය හැකිවන්නේ 2004 දී ගොඩනැගුණු ජාතිය, ඉන් වසර කිහිපයක් ඉක්බිතිව නැවත කොටස් වලට බෙදී ගිය අවාසනාවන්ත සිද්ධියම විය හැක. තරංග, සහසක් අවලාද මැද, ඔබට සුබ පැතුම්!
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















