නෙමිඳුත් සුලෝහිත සංග්‍රාමයට ශතකයක් එක් කරයි

96th Battle of the Maroons

1
96th Battle of the Maroons

කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර 96 වැනි වරටත් පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමයේ 2 වැනි දිනය තමන් නමින් ලියා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ නෙමිඳු අක්මීමන සමත් වෙනවා.

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 353ක් ලබා ගන්නා ලද අතර තරගය අද (28) 2 වැනි දිනයට නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 278ක් ලබා සිටියා.

එම ඉනිමේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් නෙමිඳු අක්මීමන තම අර්ධ ශතකය 80 වැනි පන්දුවේ දී වාර්තා කරන ලද අතර තමන් මුහුණ දුන් 167 වැනි පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් ශතකය වාර්තා කරනවා. තරගය නතර කරන විට ඔහු පන්දු 194කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 112ක් ලබා සිටියා.

>>සුලෝහිත සංග්‍රාමයට නෙතුල්ගෙන් ශතකයක්<<

තරගය පළමු දිනයට නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ආනන්ද විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 325ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් ආනන්ද විද්‍යාලයීය ආරම්භක පිතිකරු නෙතුල් එදිරිමාන්න නොදැවී ලකුණු 150ක් ලබා සිටි අතර අද ඔහුගේ ඉනිම ලකුණු 165කට සීමා වුණා. ඔහු 8 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 261කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුලත් කරගෙන තිබුණා.

ඔහුගේ දැවී යෑමත් සමඟින් ආනන්ද විද්‍යාලයීය ඉනිම අත්හිටුවීමට තීරණය කරන අතර ඒ වෙද්දී ඔවුන්ගේ තවත් කඩුලු 2ක් ද අහිමි ව තිබුණා. ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් දැවී යන්නේ පෙර දිනයේ නොදැවී ලකුණු 8ක් ලබා සිටි රශාන් විජේරත්න. ඔහු දැවී යන විට පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා සිටියා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 6 වැනි පන්දුවේ දී නවක පිතිකරු ලෙසින් පිටියට පිවිසි ලිත්ම පෙරේරා ද දැවී යනවා. ඔහු ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

කඩුලු දවා ගැනීමේ දී නායක ඔසඳ හෙට්ටිආරච්චි ලකුණු 74කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව සන්තුල් විජේරත්න, හසිත් රත්නායක සහ දුනිත් අනුසාර කඩුල්ල බැගින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නාලන්දා ඉනිම ආරම්භ කරන්නේ සන්තුල් විජේරත්න සහ නඳුල් ජයලත් විසිනුයි. ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 21කට සීමා වෙනවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දැවී යන්නේ නඳුල් ජයලත්. ඔහු දැවී යන විට පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 14ක් ලබා සිටියා.

අනතුරු ව ඉනිමේ දැවී ගිය 2 වැනි පිතිකරු ලෙසින් අනෙක් ආරම්භක පිතිකරු සංතුල් විජේරත්න ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා සිටියා. ඔහු රන්මිත් සේනාරත්න හා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 30ක් එක් කරන අතර ඒ වෙද්දී නාලන්දා විද්‍යාලයීය ඉනිම කියැවුණේ ලකුණු 51ක් ලෙසයි.

එම කඩුල්ල දැවී යෑමෙන් අනතුරු ව තවත් ලකුණු 11ක් නාලන්දා ඉනිමට එක් වෙද්දී ඔවුන්ගේ 3 වැනි කඩුල්ල ද අහිමි වෙනවා. ඊට ගොදුරු වෙන්නේ රන්මිත් සේනාරත්න. ඔහු දැවී යන විට පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියා.

එම කඩුල්ල දැවී යෑමෙන් අනතුරු ව නාලන්දා විද්‍යාලයීය ඉනිම වැටී සිටි තත්ත්වයෙන් ගොඩ ගැනීමට නායක ඔෂඳ හෙට්ටිආරච්චි සහ නෙමිඳු අක්මීමන සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ හතර අතේ දුවවමින් ලකුණු 111ක සබඳතාවක් ගොඩ නගනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ නායක ඔෂඳ හෙට්ටිආරච්චි ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු තම ඉනිම හැර යද්දී පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 55ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට එක් වෙන්නේ මිහින් සොයිසා. තමන් මුහුණ දුන් පළමු පන්දුවට ම හතරේ පහරක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීමට ආරම්භ කළ ඔහු නායකයාගෙන් ගිලිහී ගිය යශ්ටිය ඒ ආකාරයෙන් ම ඉදිරියට රැගෙන යෑමට සමත් වෙනවා.

තරගය 2 වැනි දිනයට නතර කරන විට මිහින් සොයිසා පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ලබා සිටි අතර ඔහු සහ නෙමිඳු අක්මීමන අතර 5 වැනි කඩුල්ලට එක්කර ගෙන තිබූ ලකුණු සබඳතාව 105ක්.

කඩුලු දවා ගැනීමේ දී නායක කිත්ම විදානපතිරණ ලකුණු 61කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව දසිත් බටුගහගේ සහ ශාරද ජයරත්න කඩුල්ල බැගින් දවා ගෙන තිබුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ආනන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 353 (88.0) නෙතුල් එදිරිමාන්න නොදැවී 150, දනිඳු සෙල්ලපෙරුම 33, හිමිර කුඩාගම 24, ශාරද ජයරත්න 38, ඔවින් පෙරේරා 53, ඔෂඳ හෙට්ටිආරච්චි 2/60

නාලන්දා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 278 (84.0) රන්මිත් දිනුවර 31, නෙමිඳු අක්මීමන නොදැවී 112, ඔෂඳ හෙට්ටිආරච්චි 55, මිහින් සොයිසා නොදැවී 43, කිත්ම විදානපතිරණ 2/61

නාලන්දා විද්‍යාලය තවත් ලකුණු 75ක් පිටුපසින්.

මෙම තරගය හෙට (01) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම තරගයේ සජීවී දසුන් Dialog TV Channel 126 ඔස්සේ ThePapare 1, ThePapare.com සහ Dialog Play app ඔස්සේ නැරඹීමට ඔබට අවස්ථාව උදාකර ඇත.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<