89 වැනි සුලෝහිත සංග්‍රාමයට ආනන්ද – නාලන්ද සීරුවෙන් 

453

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ විදුහල් දෙකක් වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලය අතර ආචාර්ය එන්. එම්. පෙරේරා අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන “ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ” 89 වැනි දිගහැරුම මාර්තු මස 3 සහ 4 යන දෙදින කොළඹ SSC ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

සල්පිටි – රයිගම් කෝරල සීමිත පන්දුවාර තරගයට ආලෝකය හරහට හිටී

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර 17 වැනි වරටත්…

තරගාවලියේ ඉතිහාසය 1924 තරම් ඈතට විහිදී යන අතර එම වසරේ දී ආනන්ද විදුහල වෙනුවෙන් නායකත්ව දැරුවේ කේ. ඒ. පී. රාජකරුණා විසිනි. නාලන්දාව මෙහෙය වනු ලැබුවේ බී. එස්. පෙරේරා විසිනි. කෙසේ නමුත් වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසාවෙන් ප්‍රථම තරගය පැවැත්වීමට නොහැකි විය. ඊට පසු වර්ෂය එනම් 1925 දී ආනන්ද විදුහල, පසු කලෙක ප්‍රබල දේශපාලනඥයෙකු වූ එන්. එම්. පෙරේරා මහතා විසින් මෙහෙය වනු ලැබීය.

එසේ ආරම්භ වූ මෙම පාසල් මහා ක්‍රිකට් තරගය අඛණ්ඩව වසර 89ක් පුරාවට පැවති අතර මේ හරහා පාසල් දෙකෙන්ම ක්‍රිකට් පිටියට නිර්මාණය කර දුන් විශිෂ්ටයින් ගණන අතිවිශාලය.

මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වන බන්දුල වර්ණපුර කොළඹ නාලන්ද විදුහලේ සාඩම්බර නිෂ්පාදනයක් වන අතර 1996 වසරේ දී එක්දින ලෝක කුසලානයක පහස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට උරුම කර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වගකීම් ඉටු කළ අර්ජුන රණතුංග ආනන්ද විදුහලෙන් ලක්බිමට දායද කළ ක්‍රීඩකයෙකි.

තවද ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දෙන දිනේෂ් චන්දිමාල්, ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරගවල දී ලකුණු 10,000 සීමාව පසුකර ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන මහේල ජයවර්ධන ඇතුළුව රෝෂාන් මහානාම, මාවන් අතපත්තු, බ්‍රෙන්ඩන් කුරුප්පු වැනි ක්‍රීඩකයින් ද ආනන්ද – නාලන්ද දෙවිදුහල් වලින් ලක්බිමට දායද කළ ක්‍රීඩකයින් අතරින් කිහිප දෙනෙකි.

කෙසේ නමුත් ගිය වසරේ පැවති 88 වැනි සුලෝහිත සංග්‍රාමය ජය-පරාජයෙන් තොරව අවසන් වූ නමුත් එක්දින තරගය ජයග්‍රහණය කිරීමට නාලන්ද ක්‍රීඩකයින් සමත් විය.

89 වැනි සුලෝහිත සංග්‍රාමය සඳහා මෙවර සාඩම්බර අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සබඳතා සහකරු වන ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කරනු ලබයි. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (27) ආනන්ද විද්‍යාල කුලරත්න ශාලාවේ දී පැවැත්විය.

ඒ සඳහා සහභාගී වූ ආනන්ද විද්‍යාලයීය නායක අසේල සිගේරා ThePapare.com හමුවේ මෙසේ අදහස් ප්‍රකාශ කළේය,

“සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් මාස 6ක පමණ කාලයක් තිස්සේ අප සූදානමෙන් පසුවෙනවා. තරග 15ක් ක්‍රීඩා කරලා තියෙනවා, ඒ අතරින් පළමු ඉනිමේ ජයග්‍රහණ 7ක් සහ පූර්ණ තරග ජයග්‍රහණ 3ක් ලබාගෙන තියෙනවා. කණ්ඩායමක් විදිහට අපි හොඳ සූදානමකින් ඉන්නවා.”

එමෙන්ම නාලන්ද විදුහලට නායකත්වය සපයන ලක්ෂිත රසාංජන ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, ඔවුන් මෙවර තරග වාරයේ දී ඉතාමත් හොඳින් ක්‍රීඩා කර ඇති බව සහ පසුගිය වසරේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් මෙවර සැලැස්මකට අනුව ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කිරීම තම අපේක්ෂාව බවයි.

ඩයලොග් ආසිආටා සමාගමට අමතරව අනෙකුත් සම අනුග්‍රාහකයින් ලෙස සොෆ්ට්ලොජික්, සම්පත් බැංකුව, මහජන බැංකුව, රිච්මාස් ෆැෂන්ස්, නෙස්ලේ ආයතනය එල්ඕඑල්සී ආයතනය, ගුණරත්න ඕෆ්සෙට් සහ එන්. සීලනාත හෝල්ඩින්ග්ස් ආයතනය කටයුතු කරයි.

මාධ්‍ය හමුව සඳහා ආනන්ද විද්‍යාලයීය විදුහල්පති එස්. එම්. කීර්තිරත්න, නාලන්ද විද්‍යාලයීය විදුහල්පති තිලක් වාස්තුහේවා, ඩයලොග් ආසිආටා ආයතනයේ සමූහ ප්‍රධාන නිලධාරි – වැඩසටහන් කළමනාකරණ, ටෙලි-යටිතල පහසුකම් සහ සමූහ කණ්ඩායම් කළමනාකරණ නිලධාරි උපාලි ගජනායක, ඩයලොග් ආසිආටා ආයතනයේ ව්‍යාපාර ප්‍රධානී – ජංගම දුරකථන සන්නිවේදන අසංග ප්‍රියදර්ශන, ඩයලොග් ආසිආටා සමාගමේ වෙළඳනාම සහ මාධ්‍ය සාමාන්‍යාධිකාරී හර්ෂ සමරනායක, නාලන්ද විද්‍යාලයේ මහා ක්‍රිකට් තරග කමිටුවේ සභාපති මොහාන් ගුණදාස, ආනන්ද විද්‍යාලයේ මහා ක්‍රිකට් තරග කමිටුවේ සම  සභාපති මංජුල විජේමාන්න යන මහත්වරුන් පැමිණ සිටියහ.

ආනන්ද සහ නාලන්ද විදුහල් අතර පැවැත්වෙන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය මාර්තු මස 18 වැනි දා SSC ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා පුවත් වාර්තාකරු වන ThePapare.com 89 වැනි සුලෝහිත සංග්‍රාමය සජීව ලෙස ඔබ වෙත සමීප කරන්නට සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<