රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය අතර සිව් වැනි වරටත් පැවැත්වෙන රණ ශූරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 08 – 09 සහ 10 තෙදින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
2022 වසරේ දී පළමු වරට ආරම්භ වූ මෙම තරගය තුන් දින තරගයක් ලෙසින් ක්‍රියාත්මක වන පළමු අවස්ථාවයි මේ. මේ දක්වා නිමා වූ තරග ත්‍රිත්වය ම විසඳුමකින් තොරව අවසන් ව ඇති බැවින් කණ්ඩායම් ද්විත්වය මංගල ජයග්‍රහණය සොයමින් මෙම තරගයට එක් වෙනු ඇතැයි විශ්වාස කළ හැකියි.
පී. ද එස්. කුලරත්න විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ Tier B කොටසන් තරගාවලියට එක් වූ පී. ද එස්. කුලරත්න විද්‍යාලය එහි තරගකාරී කණ්ඩායමක් ලෙසින් තරගාවලිය අවසන් කරනවා.
මෙවර පි. ද එස්. කුලරත්න විද්‍යාලය මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ හය වන වසරේ වර්ණලාභී ක්‍රීඩක සසිඳු කෞශාන් වෙතයි. ඔහු නිමාවූ වාර්ෂික මහා ක්‍රිකට් තරග ත්‍රිත්වයට ම සහභාගී වූ එකම කුලරුවනයි. මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ දී ලකුණු 700 සීමාව පසු කිරීමට සමත් ව සිටින සසිඳු කෞශාන් කණ්ඩායමේ වේග පන්දු යවන්නෙක් ලෙසින් ද අවශ්‍ය අවස්ථාවන්වල දී කටයුතු කරනවා.
කණ්ඩායමේ උප නායක ජනිඳු චාමික ද 6 වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙක් වන අතර තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන විශ්වසනීය ක්‍රීඩකයෙක් ලෙසින් ඔහු හැඳින්විය හැකියි. නිමා වූ පාසල් ක්‍රිකට් තරගවාරයේදී ලකුණු 700කට ආසන්නව ලබා ගෙන ඇති ඔහු කඩුලු 40කට ආසන්නව දවා ගෙන තිබෙනවා.
ඊට අමතර ව 3 වැනි වසරට කණඩායම හා එක්වෙන කණ්ඩායමේ ප්‍රධාන වමත් දඟ පන්දුයවන්නා වන ඉනුක දුල්ජය මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේදී කඩුලු 77ක් දවා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා. ඊට අමතරව ඔහු පිතිකරුවෙක් ලෙසින්ද දක්ෂතා දක්වමින් ලකුණු 250 සීමාව පසුකර තිබෙනවා.
කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන දමික අකලංක ද දක්ෂ පිතිකරුවෙක් ලෙසින් ද හැඳින්වෙනවා. ඔහු මෙම තරග වාරයේ දී ලකුණු 660ක් සහ දවා ගැනීම් 32කට දායකත්වය දක්වා තිබෙනවා.
එමෙන් ම කණ්ඩායමේ සිටින කෝඩුකාර බිහඳු සඳිලු ලකුණු 150 ඉක්මවමින් සහ කඩුලු 22ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නන්ගේ ලැයිස්තුවට එක් වෙනවා.
ඊට අමතර ව දකුණතින් පිට දඟ පන්දු යවන උදාර සඳරුවන් කඩුලු 32ක් සහ වමතින් මද වේග පන්දු යවන ගිම්හාන් හිංසර කඩුලු 21ක් දවා ගනිමින් දක්ෂ පන්දු යවන්නන් ලෙසින් විශ්වාසය දිනා තිබෙනවා.
පිතිකරුවන් අතර අදීශ ඉන්දීවර ලකුණු 330ක් ඉක්මවා ලබා ගනිමින් ද, ලකිඳු තිහංස සහ භානු අනුත්තර ලකුණු 200ක් ඉක්මවා ලබා ගනිමින් විශ්වසනීය පිතිකරුවන් ලෙසින් වර්ගීකරණයට ලක් ව තිබෙනවා.
පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය වයස අවරුදු 19 න් පහළ කණ්ඩායම
සසිඳු කෞශාන් (නායක), ජනිඳු චාමික (උප නායක), ඉනුක දුල්ජය, දමික අකලංක, ගිම්හාන් හිංසර, අදීශ ඉන්දීවර, ලකිඳු තිහංස, උදාර සඳරුවන්, භානු අනුත්තර, බිහඳු සඳිලු, යසිරු අභිෂේක්, චතුක හිරෝෂිමා , හසරු ප්‍රබෝද්‍ය, එනුක ඔනදිත්, ලුත්මින් ලෙසත්, කවීෂ ගයාශාන්.
ජගත් සේනාරත්න (විදුහල්පති), දිනේෂ් ජෝතිරත්න (නියෝජ්‍ය විදුහල්පති – ක්‍රීඩා), එස්. එච්. එල්. ගාමිණි (නියෝජ්‍ය විදුහල්පති සහ ක්‍රිකට් සම්බන්ධීකාරක), මධුසංක ද සිල්වා (ක්‍රිකට් භාර ආචාර්ය), ජී. අශෝක කුමාර (ප්‍රධාන පුහුණුකරු), සසිත් ඩිල්ශාන් (සහාය පුහුණුකරු).
- ශ්‍රී සුමංගල සහ ක්‍රිස්තු රාජ මංගල තරග ජය ගනී
- 51 වැනි Rev. Fr Peter Pillai අනුස්මරණ කුසලාන එක්දින ගැටුමේ ජය සාන්ත පීතර විද්‍යාලයට
- ගවිනු ගේ ශතකයෙන් හැඩ වුණ තැන තැන Big Match
- ආදරවන්තයින්ගේ සටන ජය පැරදුමකින් තොරව අවසන් වෙයි
- වෙස්ලි සහ බෙනඩික්වරුන්ගේ අරගලය
දේවපතිරාජ විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ Tier B කාණ්ඩය නියෝජනය කළ රත්ගම දේවපතිරාජ විද්‍යාලය මෙවර තරගාවලියේ දී තරග 13කට සහභාගී වෙමින් ඉන් තරග 4ක් ජයග්‍රහණය කරනවා. තරග 8ක් විසඳුමක් නොමැති ව අවසන් කරන ඔවුන්ට එක් තරගයක දී පරාජය විඳ දරා ගැනීමට සිදු වෙනවා.
ඔවුන්ගේ මෙම දක්ෂතාත් සමඟින් පාසල් ක්‍රිකට් දෙදින තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට දක්වා පැමිණීමටත් සහ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මෙවර අනුශූර කිරුළ දිනා ගැනීමටත් සමත් වෙමින් මෙම තරගය හා එක් වීමට නියමිතයි.
එවන් ගමනක් පැමිණි දේවපතිරාජ විද්‍යාලය මෙවර මෙහෙයවීමේ වගකීම හිමි ව ඇත්තේ මතීෂ සාරංග වෙතයි. ඔහු මෙවර තරගාවලියේ දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 350 සීමාව ඉක්මවා ලබා ගන්නවා.
කණ්ඩායමේ වඩාත් දක්ෂතා දැක් වූ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් විශ්වාසය දිනා සිටින්නේ සඳරු මල්ශාන් වෙතයි. ඔහු පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 300 සීමාව පසු කර ඇති අතර මේ දක්වා කඩුලු 70ක් ලබා සිටිනවා. පන්දු යැවීමේ දී ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහි ව ලකුණු 55කට දවා ගත් කඩුලු 7යි.
ඊට අමතර ව ගිම්හාන් රසාංජන ද තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් දේවපතිරාජ විද්‍යාලය නියෝජනය කරනවා. ඔහු මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහි ව ලබා ගන්නා ලද ශතකයක් සහ තවත් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 500ක් ඉක්මවා ලබා ගන්නා ලද අතර කඩුලු 39ක් ද තමන් සතු කර ගනිමින් දක්ෂතා දක්වනවා.
කණ්ඩායමේ වඩාත් විශ්වසනීය පිතිකරුවන් බවට පත් ව සිටින්නේ දර්ශක සංදීප් සහ අරෝෂ සිතුම්. ඔවුන් දෙදෙනා ම මෙවර තරගවාරයේ දී ලකුණු 700 සීමාව පසු කර තිබෙනවා. මේ අතුරින් දර්ශක සංදීප් මාතර සාන්ත තෝමස් විද්‍යාලයට ලබා ගත් ශතකයක් සහ තවත් අර්ධ ශතක 5ක් ද තම ලකුණු අතරට එක් කළ අතර අරෝෂ සිතුම් කටුගස්තොට සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහි ව ලබා ගත් ලකුණු 95ක් ද සමඟින් තවත් අර්ධ ශතක 4ක් තම ලකුණු අතරට එක් කර ගන්නවා.
ඊට අමතර ව කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් ද කටයුතු කරන යසිරු ලක්ෂාන් අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 400ක් ඉක්මවා ද, චමිඳු පද්මික අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 350ක් ඉක්මවා ද සහ පුල්ජිත් වත්සුක අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 250ක් ඉක්මවා ද ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.
දේවපතිරාජ විද්‍යාලයීය වයස අවරුදු 19න් පහළ කණ්ඩායම
මතීෂ සාරංග (නායක), දර්ශක සංදීප් (උප නායක), චමිඳු පද්මික, ගිම්හාන් රසාංජන, පුල්ජිත් වත්සුක, අරෝෂ සිතුමිණ, යසිරු ලක්ෂාන් (කඩුලු රකින්නා), සඳරු මල්ෂාන්, පින්සර දුතංග, ඔෂේන් කල්හාර, විහඟ ඉඳුසර, දියත් සංජිත, අදීශ ගෞතම්, හර්ෂ මදුසංක, ලිනුවර සත්විඳු, නෙතුෂ නිර්මාල්, නිකේෂ් ලසිඳු.
කෝකිලා මෙන්ඩිස් (විදුහල්පතිනිය), රංජිත් කුඹලාතර (ක්‍රිකට් භාර අචාර්ය), ලීලාරත්න විමලකීර්ති (ක්‍රිකට් භාර ආචාර්ය), චාරුකා ගුණතිලක (කනිශ්ඨ ක්‍රිකට් භාර ආචාරිනිය), රංජන් ලසන්ත ද සිල්වා (ප්‍රධාන පුහුණුකරු), සුධීර වීරරත්න (සහාය පුහුණුකරු).
4 වැනි වරටත් පවත්වනු ලබන රණ ශූරයන්ගේ සටනට එක් වෙන රත්ගම දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<