රජිත් සහ දිමත් ශතක කරා; මලියදේවයෙන් දැවැන්ත ඉනිමක්!

The 42nd Battle of The Rocks

4
42nd Battle of The Rocks

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර 42 වැනි වරට පැවැත්වෙන මහා ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (21) ක්‍රියාත්මක වුනා.

ඊයේ (20) දිනයේ දී සිය පළමු ඉනිම වෙනුවෙන් සාන්ත ආනා ක්‍රීඩකයින් ලකුණු 187ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට පිළිතුරු වශයෙන් සිය පළමු ඉනිම ආරම්භ කළ මලියදේව ක්‍රීඩකයින් දිනය අවසන් වන විට කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 105ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

අද දිනයේ තරගය ආරම්භ කිරීමෙන් පසුව ඊයේ දිනය නිමා වන තෙක් කඩුල්ලේ නොදැවී රැඳී සිටි චන්දූප අබේසිංහ සහ රජිත්  නවෝද්‍ය තවදුරටත් නොදැවී මලියදේව ඉනිම ලකුණු 223ක් දක්වා රැගෙන යාමට සමත් වූ අතර, මෙහි දී ඔවුන් දෙදෙනා ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 188ක දැවැන්ත සබඳතාවක් දියත් කිරීමට සමත් වුනා.

මේ වෙනුවෙන් චන්දූපගේ පිත්තෙන් ලකුණු 71ක් එක් වුනා.  ඔහුගේ දැවී යාමෙන් අනතුරුව රජිත් නවෝද්‍ය සෙසු මලියදේව පිතිකරුවන් හා එක්ව ඉනිමේ ලකුණු තත්වය ලකුණු 282ක් දක්වා රැගෙන යාමෙන් අනතුරුව පිටියෙන් ඉවත් වුනා. මෙහි දී රජිත් විසින් පන්දු 236ක් තුළ හතරේ පහර 15ක් සහ හයේ පහර 03ක් සමඟින් ලකුණු 157ක විශිෂ්ට ඉනිමක් ගොඩ නැගීමට සමත් වීම විශේෂත්වයක්.

රජිත් පිටියෙන් ඉවත් වී ගියත් මලියදේවයන් ලකුණු රැස් කිරීම නවතා දැමුවේ නැහැ. මෙහි දී දිමත් අබේසිංහ පසු පෙළ පිතිකරුවන් සමඟ එක් ව කණ්ඩායම් ලකුණු පුවරුව 421ක් දක්වා ඉහළ නැංවීමට සමත් වූ අතර, මෙහි දී දිමත් සහ තවීශ බාලසූරිය විසින් ඉනිමේ 08 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98ක නොබිඳුණු සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනා. මේ වෙනුවෙන් තවීශ නොදැවී ලකුණු 31ක් එක් කිරීමට සමත් වූ අතර, දිමත් විසින් පන්දු 95ක් පමණක් වැය කරමින් ලකුණු 103ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 12ක් සහ හයේ පහර 02ක් ද සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනුයි.

මෙහි දී සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් නෙසාද් වීරසේකර කඩුලු තුනක් බිඳ හෙළීමට සමත් වුනා.

මලියදේව ක්‍රීඩකයින් විසින් ලකුණු 421දී කඩුලු 07ක් පමණක් දැවී සිය ඉනිම නතර කිරීමෙන් අනතුරුව සාන්ත ආනා ක්‍රීඩකයින් සිය දෙවන ඉනිම ආරම්භ කළා.

සාන්ත ආනා පිතිකරුවන් අද දිනය තුළ පන්දුවාර 10කට මුහුණ දුන් අතර, ඔවුන් එම කාලය තුළ කිසිවකු නොදැවී ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ වන විට මලියදේව විද්‍යාලය සාන්ත ආනා විද්‍යාලයට වඩා ලකුණු 219ක් ඉදිරියෙන් පසු වනවා. මේ අනුව තරගය ජය ගැනීමේ වැඩි වාසි මලියදේව විද්‍යාලය සතු වෙමින් තරගයේ දෙවැනි දිනය අවසන් වනවා.

තරගයේ තෙවැනි සහ අවසන් දිනය හෙට (22) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දේශීය පාසල් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<