ශ්‍රී ලංකා යෞවනයින් ආසියාවේ වැජඹෙයි!

277
3rd Youth Asian Games 2025

තෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල මේ වන විට බහරේනයේ දී සාර්ථක ලෙස ක්‍රියාත්මක වනවා.

ක්‍රීඩා උළෙල ආරම්භ වී සතියක කාලයක් ගෙවී යාමෙන් අනතුරුව, රටවල් 45ක් සහභාගී වන තරගාවලියේ පදක්කම් සටහනේ 14 වැනි ස්ථානයේ රැඳී සිටීමට ශ්‍රී ලංකා යෞවනයින් විසින් සමත් වී තිබෙනවා.

මෙවර තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 100 දෙනෙකු (ක්‍රීඩකයින් 56ක් සහ ක්‍රීඩිකාවන් 44ක්) සහභාගී වන අතර, එහි දී ඔවුන් මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, පැසිපන්දු 3×3, බොක්සිං, E Sports, Golf, කබඩි, පිහිනුම්, ටයිකොන්ඩෝ, Beach Volleyball, බර ඉසිලීම සහ මල්ලව පොර යන ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වීමට සූදානමින් සිටියා.

මේ වන විටත් එම ඉසව් අතරේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගවල නිරත වන අතර, මේ අතුරිනුත් මලල ක්‍රීඩාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇති අතර, එම සියලු පදක්කම් මලල ක්‍රීඩාවෙන් හිමි වීම විශේෂත්වයක්. එමෙන්ම අද දිනයේ මෙන්ම ඉදිරි දින කිහිපයේ ද ශ්‍රී ලංකාවට තවත් පදක්කම් බලාපොරොත්තු කිහිපයක් තබා ගත හැකි.

ගෙවුණු දින කිහිපය තුළ ශ්‍රී ලංකා Beach Volleyball කාන්තා සහ පිරිමි කණ්ඩායම් මූලික වටයේ තරග සඳහා ඉදිරිපත් වෙමින් හොඳ ක්‍රීඩා රටාවකට අවතීර්ණ වෙමින් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව අද එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලට සහභාගී වීමට සූදානමින් පසු වනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ද අද දිනය තුළ ගෝල්ෆ් අවසන් වටයේ තරගවලට සහභාගී වීමට සූදානමින් පසු වනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ සවින්ද්‍යා රිටිගහපොළ අද කාන්තා 49Kg බර පන්තියේ ටයිකොන්ඩෝ ඉසව්වේ 16 දෙනාගේ වටයේ තරගයට සහභාගී වීමට නියමිතයි. එමෙන්ම අද ශ්‍රී ලංකාව බොක්සිං මූලික වටයේ තරග මෙන්ම, හෙට දිනයේ දී 3×3 පැසිපන්දු මූලික වටයේ තරගවලට ද සහභාගී වීමට සූදානමින් සිටිනවා.

මේ අතර අද දිනයේ විශේෂ අවධානයක් හිමි විය යුතු මලල ක්‍රීඩා ඉසව්වේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් රැසක් මලල ක්‍රීඩා අවසන් තරග සඳහා සහභාගී වීමට සූදානමින් සිටිනවා.

කාන්තා දුර පැනීම, පිරිමි මීටර් 2000 බාදක දිවීම, පිරිමි දුර පැනීම, කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීම, පිරිමි මීටර් 800 වැනි ඉසව්වල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් බලාපොරොත්තු සමඟ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසෙනු ඇති.

ලහිරුගේ වික්‍රමය සහ තවත් කතා!

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පළමු රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ලහිරු අචින්ත විසින් පසුගිය දා සමත් වුනා. රත්නපුර ඇලෝසියස් විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා පිටියේ කැපී පෙනුණු ලහිරු තවමත් 16 හැවිරිදි වියේ පසු වනවා. ඒ කෙසේ වෙතත් ඔහු මෙවර ක්‍රීඩා උළෙලේ මීටර් 1500 ඉසව්ව මිනිත්තු 3.57.42ක කාලයකින් නිම කරමින් නව තරග වාර්තාවක් පවා බිහි කිරීමට සමත් වුනා. ඔහු විසින් මෙසේ බිඳ දැමීමට සමත් වුනේ මීට වසර 16කට පෙර පිහිටවූ වාර්තාවක් වීම සුවිශේෂී කරුණක්.

ලහිරු විසින් එවන් වාර්තාවක් පිහිටුවීමටත් මොහොතකට පෙර මෙවර ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ මංගල පදක්කම ලෙස මීටර් 1500 කාන්තා ඉසව්ව නියෝජනය කළ නෙත්මි ගිම්හානි පුල්ලේ විසින් මිනිත්තු 4.52.32ක තරග නිමි කාලයක් සමඟ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. පුත්තලම සාන්ත ඇන්ඩෘ විද්‍යාලය නියෝජනය කළ ඇයත් තවමත් 16 හැවිරිදි වියේ පසු වනවා.

කෙසේ වෙතත් මීට අමතරව ශ්‍රී ලංකාවට තවත් පදක්කම් අවස්ථා කිහිපයක් අවාසනාවන්ත ලෙස මග හැරී ගියා. පිරිමි මීටර් 110 කඩුලු මතින් දිවීම ඉසව්ව නියෝජනය කළ කිසල් ඕෂධ අවසන් තරගයේ වැරදි ආරම්භයක් ලබා ගැනීම නිසා තරගයෙන් ඉවත් කෙරුණා. එමෙන්ම පිරිමි තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ සවිඳු සුධාරක ද පදක්කමක් පෙනී නොපෙනී ගියා.

කෙසේ වෙතත් එසේ අවාසනාවන්ත ලෙස මග හැරී ගිය ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු වෙනුවෙන් සාධාරණය ඉටු කිරීමට ඊයේ (24) තවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයින් දෙදෙනෙකුට හැකියාව ලැබුණා.

මෙහි දී පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්ව නියෝජනය කළ චතුර දුලාංජන විසින් මීටර් 62.51ක දක්ෂතාවක් සමඟ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

එමෙන්ම ඊයේ ක්‍රියාත්මක වූ පිරිමි මීටර් 400 අවසන් තරගයේ දී තත්පර 47.72ක තරග නිමි කාලයක් සමඟ තවත් ලෝක්ඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශානුක කොස්තා සමත් වුනා.

මේ අනුව ශ්‍රී ලංකාව මෙවර යොවුන් ආසියානු ක්‍රීඩා උළෙලේ කැපී පෙනෙන දස්කම් දක්වමින් ඉතා ඉහළ ප්‍රගතියක් ලබාගන්නා බව ඒ වන විට දක්නට ලැබෙනවා. එහි ඉදිරි යාවත්කාලීන කිරීම් ඔබට රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<