පුත්තලම සහෝදරවරුන්ගේ සටනේ ජය සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට

360

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා හලාවත සාන්ත මරියා විද්‍යාලය අතර තෙවන වරටත් පැවැත්වූ “පුත්තලම සහෝදරවරුන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම” මාර්තු මස 6 හා 7 යන දෙදින පුරාවටම හලාවත ශර්ලි කොරයා ක්‍රිකට් පිටියේ දී පැවැත්වූ අතර මෙවර තරගය ද කඩුලු 10කින් ජය ගැනීමට සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට හැකි විය.

පුත්තලම සහෝදරවරුන්ගේ සටනට සියල්ල සූදානම්

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා හලාවත සාන්ත මරියා විද්‍යාලය අතර තෙවන වරටත් පැවැත්වෙන…

කාසියේ වාසිය දිනාගත් සාන්ත මරියා විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. වමතින් පිත්ත හසුරුවන ශශාන් ප්‍රනාන්දු දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 102*ක් ලබාගෙන සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිමට අවශ්‍ය මූලික පදනම සකසන ලදි.

සිව්වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙක් වන ශශාන් හට සවියක් වූ  සොහාන් අනුරුද්ධ ලකුණු 59ක් ලබා ගන්නා ලදි. අවිඳු ශෙහාර නොදැවී ලකුණු 50*ක් ලබාගත් පසුව සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ඒ වන විට ඔවුන් සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 328ක් ලබාගෙන සිටියේය. දක්ෂ ලෙස පන්දු යැවූ උදිත හිරුෂික කඩුලු 5යි.

සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 36ක් ලබාගත් රොෂාන් මාධවයි. සාන්ත ජෝසප් වාස් විද්‍යාල නායක මෙනම් හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ නිපුන් දනංජය සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිමේ කඩුලු 4ක් දවා ගන්නා ලදි. සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිම ලකුණු 161කට සීමා වූ පසුව නැවතත් ඔවුන්ට සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කිරීමට ආරාධනා ලැබුණි.

ලකුණු 167ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි සාන්ත මරියා විද්‍යාල දෙවන ඉනිම පළමු ඉනිමට වඩා යම් සාර්ථකත්වයක් ලබාගත්ත ද, එම ඉනිම ද ලකුණු 171කට සීමා වූයේ නැවතත් නිපුන් දනංජය දක්ෂ ලෙස පන්දු යැවීම නිසාවෙනි. එම ඉනිමේ ද නිපුන් කඩුලු 4ක් දවා ගන්නා ලදි. එහි දී ඉශාන් දීමන්ත හා  චාරුක තරිඳු  පිළිවෙළින් ලකුණු 36ක් හා ලකුණු 26ක් ලබාගෙන දස්කම් දක්වන ලදි.

සාන්ත මරියා විද්‍යාල දෙවන ඉනිම ලකුණු 171කට සීමා වීම නිසා ඔවුන් ඉනිමක පරාජයෙන් බේරුණු නමුත් සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට තරගය ජය ගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 5ක් පමණි. එම ඉලක්කය ඔවුන් පන්දු 2ක් තුළ සපුර ගත්තේ තෙවන වරටත් පැවැත්වූ දෙදින මහා ක්‍රිකට් තරගයේ තෙවන ජයග්‍රහණයත් හිමි කර ගනිමිනි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල පළමු ඉනිම – 328/9d (57): ශශාන් ප්‍රනාන්දු 102*, සොහාන් අනුරුද්ධ 59, අවිඳු ශෙහාර 50*, නවෝද් යොහාන් 37, ධනුෂ්ක නේරංජන 30, උදිත හිරුෂික 5/84, චාරුක නවිඳු 2/56.

සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිම – 161 (65.1): රොෂාන් මාධව 36, අශේන් තාරුක 26, නිපුන් දනංජය 4/53, අවිඳු ෂෙහාර 3/37.

සාන්ත මරියා විද්‍යාල  දෙවන ඉනිම (F/O) – 171 (61): ඉශාන් දීමන්ත 33, චාරුක තරිඳු 29,  රොෂාන් මාධව 26, නිපුන් දනංජය 4/69, ශශාන් ප්‍රනාන්දු 2/25.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල දෙවන ඉනිම – 5/0 (0.2):

2010 වසරේ සිට පැවැත්වෙන මේ පුත්තලම සහෝදරවරුන්ගේ සටනේ සීමිත පන්දුවාර තරගය ලබන 11 වැනිදා කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ පැවැත්වේ. ඔවුන් මීට පෙරාතුව සීමිත පන්දුවාර තරග 6ක් පවත්වා ඇති අතර එයින් තරග 4ක් ජයග්‍රහණය කර ඇත්තේ සාන්ත ජෝසප් වාස් විද්‍යාලයයි. සාන්ත මරියා විද්‍යාලය එක් තරගයක් පමණක් ජයග්‍රහණය කර ඇත. ඊට අමතරව තවත් එක් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<