ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක්!

26th Asian Athletics Championship 2025

17
26th Asian Athletics Championship 2025

26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනය අද (29) ක්‍රියාත්මක වුනා.

අද දිනයේ දී ශ්‍රී ලංකා කාන්තා 400×4 කණ්ඩායම ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වීම විශේෂත්වයක්.

රසාරා ජාතික වාර්තාව අලුත් කරයි

අද උදෑසන වරුවේ ක්‍රියාත්මක වූ කාන්තා මීටර් 10000 ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රසාරා විජේසූරිය සහභාගී වූ අතර, ඇය මිනිත්තු 33.21.62ක කාලයක් වාර්තා කරමින් 07 වැනියා ලෙස තරගය අවසන් කළා.

මෙහි දී ඇය විසින් මෙම ඉසව්ව සඳහා පෙර පැවති ජාතික වාර්තාව (මිනිත්තු 33.39.60) තත්පර 18කට ආසන්න කාලයකින් අලුත් කිරීමට සමත් වීම විශේෂත්වයක්.

ලෙසඳු 08 වැනි ස්ථානයට

පිරිමි උස පැනීමේ ඉසව්වේ අවසන් තරගය ද අද ක්‍රියාත්මක වූ අතර, මෙහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉසව්වට සහභාගී වූ ලෙසඳු අර්ථවිදු මීටර් 2.10ක උසක් තරණය කරමින් 08 වැනි ස්ථානයට පත් වුනා. කෙසේ වෙතත් මෙය ඔහු මෙම තරගවාරය තුළ මීට පෙර දක්වා තිබූ දක්ෂතා සමඟ සැසඳීමේ දී තරමක පසුබෑමක් ලෙස සැලකිය හැකි.

පිරිමි 400×4 පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි

අද උදෑසන පිරිමි 400×4 ඉසව්වේ මූලික වටයේ තරග පැවැත්වුණු අතර, එහි දෙවැනි මූලික වටයේ තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම මිනිත්‍තු 03.07.66ක කාලයක් වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.

මෙහි දී අරුණ දර්ශන, සදෙව් රාජකරුණා, ඔමෙල් ශසින්ත සහ කල්හාර ඉන්දූප ඉසව්ව නියෝජනය කළා.

මූලික වටයෙන් අවසන් වටයට සුදුසුකම් ලද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද සවස පදක්කම් බලාපොරොත්තු සඵල කර ගැනීම වෙනුවෙන් ධාවන පථයට පිවිසුණා.

මෙහි දී ඔමෙල් වෙනුවට කාලිංග කුමාරගේ ඉසව්ව නියෝජනය කිරීමට පැමිණියන්, ඔවුන්ගේ තරග නිමි කාලය සටහන් වුනේ මිනිත්තු 03.08.55ක් ලෙසයි. තරගයේ පස් වැනි ස්ථානයෙන් සැනසීමට ශ්‍රී ලංකාවට සිදු වුනා.

කාන්තා 400×4 කණ්ඩායම තවත් ලෝකඩ පදක්කමක් ලබා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වූ කාන්තා 400×4 කණ්ඩායම ද අද දිනයේ තම ඉසව්වේ අවසන් තරගයට සහභාගී වුනා.

නදීශා රාමනායක, සයුරි මෙන්ඩිස්, ජයේශි උත්තරා සහ නිශේන්ද්‍රා ප්‍රනාන්දු ඉසව්ව නියෝජනය කරමින් මිනිත්තු 3.36.67ක තරග නිමි කාලයක් සටහන් කිරීමට සමත් වූ අතර, ඔවුන් ඉන්දියාවට සහ වියට්නාමයට පසු පසින් හිඳිමින් තෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත් වුනා.

මේ අනුව ශ්‍රී ලංකා ලෝකඩ පදක්කම් 03ක් සමඟ මෙවර පදක්කම් සටහනේ 12 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

හෙට දිනය තුළ ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් තරග බිමට පිවිසීමට සූදානම් වී සිටිනවා. හෙට දිනය තුළ පිරිමි හෙල්ල විසි කිරීම මූලික වටයේ තරග, පිරිමි මීටර් 200 මූලික වටය සහ අවසන් පූර්ව වටය් තරග ද පිරිමි මීටර් 100 මූලික වටයේ තරග ද ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම තරග ඉසව් පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<