2025 වසර මේ වන විට නිමාවට පත් වී තිබෙනවා. ගෙවුණු වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ක්‍රියාත්මක වූ ක්‍රිකට් තරගාවලි අතුරින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ ක්‍රිකට් තරගාවලිය ලෙස ශූරයින්ගේ කුසලානය සඳහන් කළ හැකි.
ඊට අමතරව ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය මෙන්ම, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද විශේෂ අවධානයක් හිමි කර ගැනීමට සමත් වුනා.
ඉන්දියාව ශූරයින් අතර, ශූරයා වෙයි
දශක ගණනාවකට පසුව ශ්‍රී ලංකාවේ සහභාගීත්වයෙන් තොරව ICC ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලියක් ක්‍රියාත්මක වූ අතර, මෙම තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතරේ බෙදී ගියා.
තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාවත්, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාවත් තරග වැදුණු අතර, අවසන් මහා තරගයට ඉන්දියාව සහ නවසීලන්තය සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
අවසන් තරගයේ දී ඉන්දියාව විසින් නවසීලන්තයට එරෙහිව කඩුලු 6ක ජයක් ලබමින් ශූරතාව දිනා ගැනීමට සමත් වූ අතර, මෙහි දී අවසන් තරගයේ වීරයා සම්මානය ඉන්දියාවේ Rohit Sharma ද , තරගාවලියේ වීරයා සම්මානය නවසීලන්තයේ Rachin Ravindra ද හිමි කර ගැනීමට සමත් වුනා.
ආසියා කුසලානයත් ඉන්දියාව සතු වෙයි
විස්සයි විස්ස තරග රටාවෙන් ක්‍රියාත්මක වූ ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සහ පාකිස්තානය විසින් සමත් වුනා.
මෙහි දී පාකිස්තානයට එරෙහිව කඩුලු 05ක ජයක් ලද ඉන්දීය කණ්ඩායම නැවත වරක් ආසියානු ශූරයින් ලෙසින් ද කිරුළු දැරීමට සමත් වුනා.
දකුණු අප්‍රිකාවේ අවාසනාවන්ත කතාව නිම වෙයි
2023-25 තරග වාරය වෙනුවෙන් ක්‍රියාත්මක වූ ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.
මෙහි දී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 05ක විශිෂ්ට ජයක් ලැබූ දකුණු අප්‍රිකාව විසින් ලෝක ශූරතාව හිමි කර ගැනීමට සමත් වූ අතර, වසර ගණනක් මුළුල්ලේ ICC ශූරතාවක් දිනා ගැනීම වෙනුවෙන් ඉතා වෙහෙස වූ දකුණු අප්‍රිකාව අවසානයේ සිය බලාපොරොත්තු සඵල කර ගැනීමට සමත් වුනා. එමෙන්ම මෙම වසර තුළ දකුණු අප්‍රිකාව ටෙස්ට් පිටියේ ඉතා විශිෂ්ට දක්ෂතා දක්වමින් ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දීම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් (2-0) ජය ගැනීමට ද සමත් වුනා.
අවාසනාවන්තයින්ගේ වසර මෙයයි
දකුණු අප්‍රිකාව මෙන්ම වසර ගණනක් ශූරතාවක් වෙනුවෙන් පෙරුම් පුරමින් මග බලා සිටි තවත් කණ්ඩායමක් 2025 වසරේ IPL ශූරයින් වීමට සමත් වුනා.
Royal Challengers Bangalore කණ්ඩායම විසින් මෙවර IPL ශූරතාව හිමි කර ගැනීමට සමත් වූ අතර, එය ඔවුන්ගේ පළමු IPL ශූරතාව ලෙස ද ඉතිහාසයට එක් වුනා. එමෙන්ම ඔවුන් අතින් අවසන් තරගයේ දී පරාජය වීමට සිදු වුනේ ද තවමත් IPL ශූරතාවක් හිමි වී නොමැති Punjab Kings කණ්ඩායමට වීමත් විශේෂත්වයක්.
මේ අතර 2024-25 ඕස්ට්‍රේලියානු Big Bash තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට Hobart Hurricanes කණ්ඩායම විසින් සමත් වූ අතර, එය ඔවුන්ගේ ද මංගල BBL ශූරතාව ලෙස සටහන් වුනේ මෙය අවාසනාවන්තයින්ගේ වසර බවට නැවත වරක් සනාථ කරවමිනුයි.
ඉන්දියාව ලෝක මට්ටමේ වැජඹෙයි
මෙය අවාසනාවන්තයාගේ වසර ලෙස හඳුන්වනවා තරම් ම ඉන්දියාවේ වසර ලෙස ද (ක්‍රිකට් පිටිය ආශ්‍රිතව) හැඳින්විය හැකි. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සහභාගීත්වයෙන් යුතුව ක්‍රියාත්මක වූ කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී දකුණු අප්‍රිකාව පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ඉන්දියාවට හැකියාව ලැබුණා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
අළු බඳුන ඕස්ට්‍රේලියාවේ දී
මේ වන විට 2025/26 අළු බඳුන ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී ක්‍රියාත්මක වනවා. මේ වන විට තරග 4ක් ක්‍රියාත්මක වී ඇති මෙම තරගාවලිය ඕස්ට්‍රේලියාව විසින් 3-1ක් ලෙස ජය තහවුරු කර ගැනීමට සමත් වී සිටීමත් විශේෂත්වයක්. එංගලන්තය විසින් මෙම තරගාවලිය තුළ ඉතා දරුණු ඇද වැටීමක් පෙන්නුම් කළ අතර, ඔවුන් එය යම් පමණකට හෝ වෙනස් කිරීමට සමත් වුනේ තරගාවලියේ සිව්වැනි තරගයේදියි.
සමු ගැනීම් රැසක්!
මේ අතර මෙම වසර තුළ විශේෂ අවධානයක් යොමු වූ ක්‍රීඩක සමු ගැනීම් ලෙස ඉන්දීය සුපිරි පිතිකරුවන් දෙදෙනකු වන Virat Kohli හ Rohit Sharma දෙදෙනා ම ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දීම හඳුන්වා දිය හැකි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වංශ කතාවට වෙනස් ම පරිච්ඡේදයක් එක් කළ ඇන්ජලෝ මැතිව්ස් ද ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළා.
එමෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ලෙස Steve Smith සහ Glenn Maxwell එක්දින පිටියට සමු දීමට තීරණය කළ අතර, බංග්ලාදේශයේ Mushfiqur Rahim, දකුණු අප්‍රිකාවේ Heinrich Klaasen වැනි ක්‍රීඩකයින් විස්සයි විස්ස පිටියට සමු දීමට ද තීරණය කළා.
2025 වසරේ කණ්ඩායම් දක්ෂතා:
- ටෙස්ට් ක්‍රිකට්:
2025 වසරේ ටෙස්ට් පිටියේ දී හොඳම ජයග්‍රහණ ප්‍රතිශතයක් වාර්තා කර ගැනීමට තරග 8ක් ක්‍රීඩා කර, ඉන් 7ක් ජය ගැනීමට සමත් වුනේ 87.50ක ජයග්‍රහණ සාමාන්‍යයක් ද සමඟයි. එමෙන්ම ඕස්ට්‍රේලියාව ද තරග 11ක් ක්‍රීඩා කරමින් ඉන් 9ක් ජය ගැනීමට සමත් වුනා.
- එක්දින ක්‍රිකට්:
එක්දින පිටියේ තරග 20ක් ක්‍රීඩා කළ නවසීලන්තය ඉන් තරග 17ක් ජය ගැනීමට සමත් වන්නේ ජයග්‍රහණ ප්‍රතිශතය 85ක රඳවා ගනිමිනුයි. එමෙන්ම ඉන්දියාව ද තරග 14ක් ක්‍රීඩා කර, ඉන් තරග 11ක් ජය ගැනීමට සමත් වුනා
- විස්සයි විස්ස ක්‍රිකට්:
විස්සයි විස්ස පිටියේ ලොව ප්‍රධාන පෙළේ කණ්ඩායම් අතුරින් ඉන්දියාව තරග 21ක් ක්‍රීඩා කර, ඉන් තරග 15ක් ජය ගැනීමට සමත් වුනේ තරග තුනක් පමණක් පරාජය වෙමිනුයි. ඔවුන්ගේ ජයග්‍රහණ ප්‍රතිශතය 84.21ක් ලෙස සටහන් වුනා.
2025 වසරේ ක්‍රීඩක දක්ෂතා:
- ටෙස්ට් වැඩිම ලකුණු – Shubman Gill (ඉන්දියාව) : ලකුණු 983
- ටෙස්ට් වැඩිම කඩුලු – Mitchell Stark (ඕස්ට්‍රේලියාව) – කඩුලු 55
- එක්දින වැඩිම ලකුණු – Joe Root (එංගලන්තය) – ලකුණු 808
- එක්දින වැඩිම කඩුලු – Matt Henry (නවසීලන්තය) – කඩුලු 31
- T20 වැඩිම ලකුණු – Karanbir Singh (ඔස්ට්‍රියාව) – ලකුණු 1488
- T20 වැඩිම කඩුලු – Ali Dawood (බහරේනය) – කඩුලු 63
මේ අයුරින් 2025 වසර සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය සමු දෙනවා. කෙසේ වෙතත් ලබන වසර ආරම්භයේ සිටම ලෝක ක්‍රිකට් පිටිය ඉතා උණුසුම් මුහුණුවරක් ගැනීමට නියමිතයි.
එළඹෙන වසරේ පෙබරවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් යුතුව විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වීමට නියමිත අතර, එම තරග අත්දැකීම් පමණක් නොව, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු තතු විත්ති සවිස්තරාත්මක ව ඔබ වෙත රැගෙන ඒමට අපි සූදානම්.
මෙම වසර මුළුල්ලේ දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කළ අයුරින් ම, ලබන්නා වූ 2026 වසරේ දී ද ක්‍රිකට් පිටියේ සියලු අහු මුළු ආවරණය කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















