ශ්‍රී ලංකා දඟපන්දුව ද. අප්‍රිකානු කොඳු නාරටිය සිඳලයි; වීරයා දිමුත්

1718

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් තවත් සම්පූර්ණ දින දෙකක් ඉතිරිව තිබිය දී ජයග්‍රහණය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (14) සමත් වූහ. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 278ක පරාජයක් හිමිකර දෙමිනි. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් සේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ලකුණු 352ක ඉලක්කයක් පසු පස ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 73ක් පමණි. එය දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව පෙර දිනයේ අඩුවෙන්ම දැවී යෑම නැවත අලුත් කිරීමකි.

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා පොඩ්ඩෝ වැඩ පෙන්වති

සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සභාපතිගේ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එකම දෙදින පුහුණු ක්‍රිකට් තරගය…

අද පෙරවරුවේ දී නොසිතූ අකරතැබ්බයකට මුහුණ දුන් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 190කට දැවී ගියේය. මේ දැවී යෑමත් සමඟින් ලෝක ටෙස්ට් වර්ගීකරණයේ දෙවැනි ස්ථානය හිමි දකුණු අප්‍රිකානුවෝ තමන්ගේ තරම පෙන්වීමට ශ්‍රී ලංකාවට කළ කෝචෝක් එකක් බඳු විය.  

එහෙත් එහි සතුට වැඩි වේලාවක් දකුණු අප්‍රිකානුවන් සතු වූයේ නැත. එහි වාඩුව ගැනීමට පෙරමුණ ගත් ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෝ දකුණු අප්‍රිකානුවන්ගේ සියලු බල පරාක්‍රමයන් සුනුවිසුනු කර දැම්මේ හිතක් පපුවක් නොමැති වූවන්සේ ය.  

එම ගනුදෙනුවේ දී වඩාත් දරුණු වූයේ 35 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යවන දිල්රුවන් පෙරේරා ය. ඔහු ලකුණු 32කට කඩුලු 6ක් දවා ගනිමින් දකුණු අප්‍රිකානුවන්ගේ කොඳු නාරටිය බිඳ දැමුවේය. ඊට කදිම සහයෝගයක් ලබා දුන් රංගන හේරත් කඩුලු 3ක් ද, ලක්ෂාන් සඳකැන් කඩුල්ලක් ද දවා ගත්හ.

දිල්රුවන් අද වාර්තා කළේ තමන්ගේ ඉනිමක සේ ම තරගයක හොඳම පන්දු යැවීමයි. මීට ප්‍රථම ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාලු පිටියේ දී ම ලකුණු 70කට ලබා ගත් කඩුලු 6ඉනිමක හොඳම පන්දු යැවීම සේ වාර්තා වී තිබුණි.

එමෙන්ම ඔහු පළමු ඉනිමේ දී ලකුණු 46කට කඩුලු 4ක් දවා අතර එම දක්ෂතාවත් සමඟින් ඔහු තරගයේ දී ලකුණු 78කට කඩුලු 10ක් දවා ගත්තේ ය. එය ඔහුගේ තරගයක හොඳම දක්ෂතාව විය.  මීට ප්‍රථම එම ස්ථානය හිමිව තිබුණේ ඕස්ට්‍රේලියාවට එරෙහිව 2016 වසරේ දී ලකුණු 99කට ලබා ගත් කඩුලු 10 අභිබවා යමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 352ක ඉලක්කයක් පසුපස ගිය දකුණු අප්‍රිකානුවන්ගේ දෙවැනි ඉනිමේ දී වැඩිම ලකුණුලාභියා වූයේ වර්නන් පිලැන්ඩර් ය. ඔහු පන්දු 38කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 22ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ආරම්භක පිතිකරු එයිඩ්න් මැක්රම් ලකුණු 19ක් ලබා ගත්තේ ය.

තරගයේ දෙවැනි දිනය වූ  ඊයේ (13) දෙවැනි ඉනිමට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 111ක් ලබා සිටිය ද, අද පෙරවරුවේ ඉතිරි කඩුලු 6ට ම ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 79ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා දෙවැනි ඉනිම 190ක් විය.

ශ්‍රී ලංකා ඉනිමේ අද ලබාගත් ලකුණු 79න් ලකුණු 54ක් ම හිටපු සහ වත්මන් නායකයන්ගේ පිතිවලින් ලබා ගත් ඒවා විය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ගැලවුම්කරුවන් වූ ඔවුන් අතරින් මැතිව්ස් පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගත් අතර ලක්මාල් ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 46ක දී ලකුණු 33ක් ලබා ගත්තේ ය. ඔහුගේ ඉනිමේ හතරේ පහර 5ක් තිබුණි.

ප්‍රශංසනීය ඉනිමක් සමඟින් ඉනිම ගොඩ දැමූ වමත් පිතිකරුවා – දිමුත් කරුණාරත්න

දකුණු අප්‍රිකාව වැනි විශිෂ්ට පන්දු යැවීමේ බලකායක් හමුවේ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශතකයක් වාර්තා කිරීම පහසු වැඩක් නොවේ. විශේෂයෙන්ම විවාදයකින් තොරව මේ වන…

අද ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 6ක් එක් වෙද්දී රොෂේන් සිල්වා දැවී ගියේ ලකුණු 13ක් ලබා සිටිය දී ය. අනතුරුව නිරෝෂන් දික්වැල්ල (09) සහ දිල්රුවන් පෙරේරා (02) අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. ඔවුන්ගේ දැවී යෑමත් සමඟින් ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 7ක් දැවී ලකුණු 135ක් ලෙසිනි.

අනෙක් පිතිකරුවන් වූ රංගන හේරත් (00) සහ ලක්ෂාන් සඳකැන් (06) ද අසාර්ථක පිතිකරු ගොන්නට ඇද වැටුණි.

කඩුලු ලබා ගැනීමේ දී කේශව් මහරාජ් ලකුණු 58කට කඩුලු 4ක් ද සහ කගීසෝ රබාඩා ලකුණු 44කට කඩුලු 3ක් ද ලබා ගත්හ.

දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තෙවැනි දින දිවා විවේකය සඳහා තරගය නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 05ක් ලබා සිටිය හ.

>> තරගයේ ඡායාරූප ඇල්බමය <<

දිවා විවේකයෙන් පසුව දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම පැවතියේ පන්දුවාර 25කුත් පන්දු 5ක කාලයක් පමණි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 20 වැනිදා කොළඹ මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වේ.

  • තරගයේ වීරයා – දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකාව ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 287 (78.4): ධනුෂ්ක ගුණතිලක 26, දිමුත් කරුණාරත්න නොදැවී 158, කුසල් මෙන්ඩිස් 24, නිරෝෂණ දික්වැල්ල 18, ලක්ෂාන් සඳකැන් 25, කගීසෝ රබාඩා 4/50, තබ්‍රයිස් ශම්සි ලකුණු 3/91

දකුණු අප්‍රිකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 126 (54.3):  ෆෆ් ඩියු ප්ලේසිස් 49, වර්නන් පිලැන්ඩර් 18, රංගන හේරත් 2/39, දිල්රුවන් පෙරේරා 4/46, සුරංග ලක්මාල් 3/21

ශ්‍රී ලංකාව ; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 190 (57.4): ධනුෂ්ක ගුණතිලක 17, දිමුත් කරුණාරත්න 60, ඇන්ජලෝ මැතිව්ස් 35, සුරංග ලක්මාල් 33, කගීසෝ රබාඩා 3/44, කේශව් මහරාජ් 4/58

දකුණු අප්‍රිකාව; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 73 (28.5) එයිඩ්න් මැක්රම් 19, වර්නන් පිලැන්ඩර් නොදැවී 22, රංගන හේරත් 3/38, දිල්රුවන් පෙරේරා 6/32

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<