දෙවැනි අර්ධයේ වික්‍රමයෙන් ධර්මරාජයට තියුණු ජයක්

2549

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවය වෙනුවෙන් අද (19) පැවති තරගයෙන් මහනුවර  විද්‍යාර්ථ විද්‍යාලය පරාජය කරමින් ලකුණු 24-29ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට ධර්මරාජ ක්‍රීඩකයින් සමත් විය. මේ ඔවුන් තරගාවලියේ දී ලබා ගත් පළමු ජයග්‍රහණය වන අතර තරගය බෝගම්බර දී පැවැත්විය.

අන්තෝනි දෙවන ජය ලුම්බිණියට දැවැන්ත පරාජයක් අත්කර දෙයි

කොළඹ තුරඟ තරග පිටියේ අද (19) පැවති 2018 ‘සිංගර්’ පාසල් රග්බි ලීග් තරගාවලියේ…

ධර්මරාජ විද්‍යාලයීය නායක බවන්ත උඩන්ගමුවගේ පා පහරින් සවස 4.15ට තරගය ආරම්භ වූ අතර තරගය ආරම්භයේ දී ම ධර්මරාජ ක්‍රීඩකයන් හට දැඩි පීඩනයක් එල්ල කිරීමට විද්‍යාර්ථ ක්‍රීඩකයන් සමත් වුනා.

තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයක් යාමට මත්තෙන් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කරමින් විද්‍යාර්ථ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට නායක ටී. ඩී. තිස්ස සමත් වුනා. කෙසේ වෙතත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වුනේ නැහැ. (05-00)

නැවතත් පිටියේ එක්වූ විද්‍යාර්ථ ක්‍රීඩකයින් මිනිත්තු කිහිපයක් තුල දී සිය දෙවන උත්සාහක දිනුම ද වාර්තා කිරීමට සමත් විය. විද්‍යාර්ථ විද්‍යාලයීය ඉදිරිපෙළ ක්‍රීඩක ටී. සෙව්වන්ද එම උත්සාහක දිනුමට හිමිකම් කී අතර එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට විද්‍යාර්ථ ක්‍රීඩකයන් සමත් වුනා. (12-00)

තරගය  ආරම්භ වී 20 වන මිනිත්තුවේ දී කහ කාඩ්පතක් ලැබීම නිසා ධර්මරාජ හුකර් ක්‍රීඩක මනුක හියාරපිටියට පිටියෙන් ඉවත් වීමට සිදු විය. ක්‍රීඩකයෙකු අඩු වීමේ වාසියෙන් උපරිම ප්‍රයෝජන ගත් විද්‍යාර්ථ වින්ග් ත්‍රී ක්‍රීඩක සී. බී. කළුආරච්ච් තවත් උත්සාහක දිනුමක් විද්‍යාර්ථ ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුනා. එහි ප්‍රවර්තනය ද ඔහු විසින් සාර්ථක කර ගන්නා ලදි. (19-00)

ත්‍රිත්ව ඉසිපතන ගැටුමේ තීරණයක් නැහැ!

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාවේ තවත් තරගයක්..

පළමු අර්ධය නිමා වීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී විශිෂ්ට ධාවනයක යෙදුණු විද්‍යාර්ථ විද්‍යාලයේ ෆුල් බැක් ක්‍රීඩක සී. ඩී. කෝදාගොඩ තවත් උත්සාහක දිනුමක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය අවාසනාවන්ත ලෙස අසාර්ථක විය.

කෙසේ නමුත් පළමු අර්ධය අවසානය වන තෙක් එකදු ලකුණක් හෝ ධර්මරාජයට ලබා නොදීමට විද්‍යාර්ථ ක්‍රීඩකයන් වගබලා ගත්තේය. (24-00)

පළමු අර්ධය: විද්‍යාර්ථ විද්‍යාලය 24 – 00 ධර්මරාජ විද්‍යාලය

විද්‍යාර්ථ පා පහරින් ආරම්භ වූ දෙවන අර්ධයේ දී ධර්මරාජ ක්‍රීඩකයන් වඩාත් ආක්‍රමණකාරී ලෙස තරගයට ප්‍රවිශ්ට වූහ. දෙවන අර්ධයේ 2 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ එම්. රාජපක්ෂ විද්‍යාර්ථ ඉදිරිපෙළ බිඳ දමමින් ඉදිරියට ගොස් ධර්මරාජ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් විය. විජේසිරි විසින් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදි. (24-07)

දෙවන අර්ධය ආරම්භ වී 14 වන මිනිත්තුවේ දී විද්‍යාර්ථ විද්‍යාලයට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරුවරුන් විසින් තීරණය කළේය.

ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු අඩු වීමේ වාසියෙන් උපරිම ප්‍රයෝජන ගත් ධර්මරාජ ක්‍රීඩකයන් ද තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනා. එම්. විජේසිරි එම උත්සාහක දිනුමට හිමිකම් කියු නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ධර්මරාජ නායක උඩන්ගමුව අසමත් විය. (24-12)

නැවතත් පිටියේ එක්වූ ධර්මරාජ ක්‍රීඩකයින් ඉන් මිනිත්තු කිහිපයකට පසු ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් පීඩනය නැවතත් විද්‍යාර්ථ විද්‍යාලය දෙසට යොමු කිරීමට සමත් වුනා. (24-15)

ධර්මරාජ අර්ධයේ මීටර් 25 සීමාවේ දී විද්‍යාර්ථ නායකයා අතින් සිදු වූ අතපසු වීමක් නිසා ඔහු අතින් ගිලිහී ගිය පන්දුව ලබා ගත් වී. උඩන්ගමුව විශිෂ්ට ධාවනයක යෙදෙමින් උත්සාහක දිනුමක් වාර්තා කළේ ධර්මරාජ ලකුණු පුවරුව තවත් ඉහළ දමමිනි. එහි ප්‍රවර්තනය ද විජේසිරි විසින් සාර්ථක කර ගන්නා ලදි. (24-22)

ධර්මරාජ විද්‍යාලයීය දිරි ගන්වන්නන්ගේ ජය ඝෝෂාව මැද නැවතත් පිටියේ එක්වූ ඔවුහු තවත්  මිනිත්තු කිහිපයක් යාමට මත්තෙන් තම ඉදිරිපෙළ ක්‍රීඩකයන් යොදා ගනිමින් උත්සාහක දිනුමක් ලබා ගැනීමට සමත් වුනා. එම උත්සාහක දිනුමත් සමඟින් විද්‍යාර්ථ ලකුණු පුවරුව අභිබවා යාමට ධර්මරාජයට හැකියාව ලැබුණි. එහි ප්‍රවර්තනය ද විජේසිරි විසින් සාර්ථක කර ගනු ලැබීය. (24-29)

දෙවන අර්ධය අවසාන වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී ධර්මරාජ ක්‍රීඩක මනුක  හියාරපිටියට රතු කාඩ්පතක් හිමි විය.

ඒ අනුව තරගය අවසන් වූයේ දෙවැනි අර්ධයේ ප්‍රබල මෙහෙයුමක් දියත් කළ ධර්මරාජ ක්‍රීඩකයින් හට ජයග්‍රහණය හිමි වෙමිනි.

අවසන් ලකුණු තත්වය: විද්‍යාර්ථ විද්‍යාලය 24 (4T,2C) – 29 (4T,3C,1P) ධර්මරාජ විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: එම්. විජේසිරි (ධර්මරාජ)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන් –

  • විද්‍යාර්ථ විද්‍යාලය – බී. කළුආරච්ච් (1T, 1C), එම්. හෙට්ටිආරච්චි (1C), සී. කෝදාගොඩ (1T), ටී. ඩී. තිස්ස (1T), ටී. සෙව්වන්ද (1T), 
  • ධර්මරාජ  විද්‍යාලය – එම්. විජේසිරි (1T, 1P, 3C), වී. උඩන්ගමුව (1T), එම්. රාජපක්ෂ (1T), මනුක හියාරපිටිය (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<