පොදුරදමඩුලු තරග බිම අතික්‍රමණය කරන්නට යන රග්බි ඇත් පැටවුන්

690
2018 Commonwealth Games

යොවුන් මුහුණු රැසක් සමඟින් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩයම ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හී පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පිටත්ව යාමට නියමිතය.

නිමා වූ බෝර්නියෝ සත් සාමාජික තරගාවලියේ දැක්වූ දස්කම් සමඟින් ශ්‍රී ලංකාව රනින් සරසන්නට සූදානම් වන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩයම පිළිබඳ ThePapare.com තබන සටහනකි මේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය රග්බි සංචිතය නිකුත් වේ

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක සුදර්ශන මුතුතන්ත්‍රිගේ නායකත්වයෙන්, ක්‍රීඩකයින් දොළොස්..

‍2010 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව ඇතුලත් වූ කාණ්ඩයෙන් ඔවුන්ට අවසන් ස්ථානය හිමි වූ අතර එම කාණ්ඩයට ප්‍රබල ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා උගන්ඩාව අයත් විය. 2014 ග්ලාස්ගෝ හී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී උගන්ඩාව හමුවේ තියුණු තරගයකින් අනතුරුව ලකුණු 14-17ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර එංගලන්තය සමඟ තරගයේ දී 52-00ක් ලෙස පරාජය වීමට ද සිදු විය. ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් ද පරාජය වීමට සිදුවුවත් පලිහ ශූරතාවට තරග කළ ශ්‍රී ලංකා කණ්ඩයම බාර්බඩෝස්, ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ රාජ්‍යයන් පරාජය කරමින් පලිහ ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් විය.

2014 ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩකයින්ගෙන් තිදෙනෙක් පමණක් මෙවර සංචිතයට ඇතුලත්ව ඇති අතර කණ්ඩයමේ නායකත්වය අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන සුදර්ශන මුතුතන්ත්‍රී හට හිමිව තිබේ.

“කණ්ඩායමට ඇතුලත් වෙන්න ලැබුණු එකට බොහොම සතුටුයි, මෙවර තරගාවලියේ ප්‍රබල ලෙස ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. කණ්ඩායමට හොඳ අභියෝගයක් වේවි මේ තරගාවලිය, ඒ් වගේම අගෝස්තු මාසයේ තිබෙන ආසියානු ක්‍රීඩා උළෙලට මේ තරගය හොඳ පුහුණුවක් වේවි. තරගාවලියේ පුරා අපිව පීඩනයකට ලක්වේවි, එය කණ්ඩායමට බොහොම හොඳ දෙයක් වේවි. කණ්ඩායමටම උදාහරණයක් වෙමින් ඔවුන්ට සිදුවිය යුතු දේ කියා දෙමින් ඉදිරියෙන්ම තරග වදින්න බලාපොරොත්තු වෙනවා” යැයි ThePapare.com වෙත අදහස් දක්වමින් නායක මුතුතන්ත්‍රි පැවසීය.

වේගවත් ධාවකයින් වන මහනුවර ක්‍රීඩා සමාජයේ රිචඩ් ධර්මපාල, ධනුෂ්ක රන්ජන් හා පසුගිය වසරේ සාන්ත තෝමස් විද්‍යාලයේ නායකත්වය දැරූ නවීන් හේනකන්කානම්ගේ හට කණ්ඩයමේ පසුපෙළ වගකීම භාර වී තිබේ. නායක සුදර්ශන මුතුතන්ත්‍රි හට සහය වෙමින් අත්දැකීම් බහුල දනුෂ් දයාන්, නවක ක්‍රීඩක අදිශ වීරතුංග හා හිරන්ත පෙරේරා කණ්ඩායමේ ඉදිරිපෙළ සවිමත් කරනු ඇත. 2014 ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය ද නියෝජනය කළ මහනුවර ක්‍රීඩා සමාජයේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර හා CR & FC ක්‍රීඩා සමාජයේ තරින්ද රත්වත්තගේ අත්දැකීම් හා වේගය ද කණ්ඩයමේ ජයග්‍රහණය උදෙසා වැදගත් වනු ඇත.

ලොව ප්‍රබල කණ්ඩයම් හා තරග වැදීමෙන් ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩයමේ දක්ෂතා දියුණු වේ යැයි කණ්ඩයමේ පුහුණුකරු පීටර් වුඩ්ස් විශ්වාස කරයි. ”මේක අපිට ලොකු අභියෝගයක් වේවි, අපි තරග වදින්නේ ලෝකයේ  ප්‍රබල කණ්ඩයම් එක්ක, අපි තරග වදින ෆීජි හා වේල්සය ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින කණ්ඩයම් දෙකක්, සූදානම තමයි හැමදේම, ආසියානු ක්‍රීඩා උළෙල තමා අපේ ඉලක්කය, ඒ සඳහා අපේ ක්‍රීඩා රටාව සැලැස්මවල් පුහුණු වෙන්න හොඳ අවස්ථාවක්, සත් සාමාජික රටාවේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්”. නික් ගොබේ කණ්ඩායමේ භෞතචිකිත්සක ලෙස හා ඉන්ති මරිකාර් ඉහළ දස්කම් කළමනාකරු ලෙස කටයුතු කරනු ඇත.

විද්‍යාර්ථයේ උත්සාහක දිනුම් 9න් සිල්වෙස්තරයින් පරාජය වේ

අටවැනි වරටත් පැවති බර්ටි නිල්ලේගොඩ සහ පී. එම්. එල්. බණ්ඩා අනුස්මරණ වාර්ෂික..

ශ්‍රී ලංකාව සිය පළමු තරගයේ දී ඔලිම්පික් රන් පදක්කම් ලාභී ෆීජි දේශය සමඟ අප්‍රේල් 14 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.53ට තරග වැදීමට නියමිත අතර දෙවැනි තරගය ලෙස වේල්සය සමඟ එදිනම (14) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 1.01ට තරග වැදීමට නියමිතය. කාණ්ඩ මට්ටමෙන් ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය එදිනම පස්වරු 4.41ට උගන්ඩාව සමඟ පැවැත්වීමට නියමිතයි.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය හා ආසියානු ක්‍රීඩා උළෙලට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායමට 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදීත් සුපුරුදු දස්කම් අතරට පිවිසීමට ලැබේවායි ThePapare.com ප්‍රාර්ථනා කරන්නෙමු.

තරගාවලියේ නවතම තොරතුරු, ලකුණු හා විශ්ලේෂණ ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්, රැඳෙන්න ThePapare.com සමඟින්.

සංචිතය: සුදර්ශන මුතුතන්ත්‍රි (නායක), ධනුෂ්ක රන්ජන්, රිචඩ් ධර්මපාල, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, දනුෂ් දයාන්, හිරන්ත පෙරේරා, තරින්ද රත්වත්ත, රෙහාන් සිල්වා, සුදම් සූරියආරච්චි, නවීන් හේනකන්කානම්ගේ, අදිශ වීරතුංග, කවිඳු පෙරේරා, ආදේශක: රීසා රෆයිඩීන්

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<