වෙච්ච වැරැදි අපේ ඇඟේ ගහන්න එන එක අසාධාරණයි – නුස්කි මොහොමඩ්

122

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවක වැටුප් වැඩි කිරීමේදී යම් වැරැද්දක් සිදු වී ඇතැයි යන්න තමන්ටද පැහැදිලි බවත් එසේ සිදුවන්නට ප්‍රධාන හේතුව වූයේ තම කමිටුවට ලැබුණ නිර්දේශයන්හි තිබූ දුර්වලතා නිසා බවත් වැටුප් වැඩිකිරීම ක්‍රියාත්මක කිරීමට අදාළ විශේෂ කමිටුවේ සාමාජික මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු භාණ්ඩාගාරික නුස්කි මොහොමඩ් මහතා ‘මව්බිම’ට පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයන්ගේ වැටුප් සැප්තැම්බර් මස 1දා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩිකර ඇති අතර එම වැටුප් වැඩිකිරීම කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව විසින් පත්කරන ලද විශේෂ කමිටුවක නිර්දේශ මතය. එම කමිටුවට, අතුරු කමිටු සභාපතිවරයා ඇතුළු අතුරු කමිටු සාමාජිකයන් හය දෙනකු ඇතුළත් වූ අතර එහි වැඩිපුර මැදිහත් වීමක් කරමින් තමන් කටයුතු කළ බවද නුස්කි මොහොමඩ් මහතා පැවැසීය.

“වැටුප් වැඩිකිරීමෙන් ක්‍රිකට් ආයතන වියදම මිලියන 3කින් නඟී” යන ප්‍රධාන සිරස්තලය යටතේ ඊයේ ‘මව්බිම’ ක්‍රීඩා පිටුවේ පළවූ පුවත සම්බන්ධයෙන් අදහස් දැක්වූ මොහොමඩ් මහතා තවදුරටත් කියා සිටියේ තම කමිටුවට අවශ්‍ය නිවැරැදි නිර්දේශයන් ලබා නොදීම සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරියා සහ මානව සම්පත් අංශයේ නිලධාරීන් වගකිවයුතු බවයි.
එහෙත් වැටුප් වැඩි කිරීමට අදාළව පත්කළ කමිටුවේ ඔබත් සාමාජිකයෙක් නේද?

ඔව්. මම ඒකේ වැඩිපුර බරක් අරගෙන කටයුතු කළ බව ඇත්ත. ඒත් ඊට අදාළව අපිට නිර්දේශ දුන්නෙ ප්‍රධාන විධායක නිලධාරියා හා මානව සම්පත් කළමනාකරුවයි. ඒ නිර්දේශ දුන්නෙ සේවකයන් 228කට නොවෙයි. 153 දෙනකු ගැන පමණයි. අස්වෙන අය හා දිස්ත්‍රික් පුහුණුකරුවෝ ඒකට ඇතුළත් කරල තිබුණෙ නැහැ. ඒ නිසා වැටුප් වැඩි කළේ 153 දෙනාටයි. ඒ වගේම අපට ලැබුණ නිර්දේශ ගත්තාම අදාළ නිලධාරීන්ට හරි ඇගැයීමක් කරල නැහැ කියලා මුදල් කළමනාකාරිනියගෙන් පවා චෝදනා ඇවිත් තිබුණා. එහි වැරැදි 90කට වඩා අපට එවල තිබුණා. අනෙක ඒ නිර්දේශ අතර දිස්ත්‍රික් පුහුණුකරු කොටස ඇතුළත් කරල තිබුණෙ නැහැ යනුවෙන් මොහොමඩ් මහතාගේ පිළිතුර විය.

කෙසේ වෙතත් වැටුප් වැඩිකිරීම සඳහා මාසිකව රුපියල් මිලියන 3.1ක අමතර මුදලක් වැය කිරීමට සිදුවන බව කී හිටපු භාණ්ඩාගාරිකවරයා අපි කමිටුව දින දෙක තුනක් වාඩි වෙලා කතා කළා. ඒ ඒ අංශයන් කෙරෙහි දැඩි අධ්‍යයනය කළා. වැඩ කරන හැටි බලලයි අපි තීරණ ගත්තෙ. අපේ අවසන් නිර්දේශය මෙයයි කියලා ප්‍රධාන විධායකට කිව්වා. ප්‍රතිශතයක් විදියට ගත්තොත් ඉහළම ශේ‍ර්ණිවලට සියයට 20ත්, මධ්‍යම ශේ්‍රණිවලට සියයට 30ත් – 40ත් අතර පහළම ශේ‍ර්ණිවලට සියයට 30ත් පමණ ප්‍රමාණයකුයි වැටුප් වැඩි කළේ. ඉහළම ශේ්‍රණි සියල්ලටම සමාන ගණනක් වැඩි කළා. පහළම ශේ‍ර්ණි වල අයට අත්දැකීම් අනුව යම් වෙනස් කිරීම් කළා.

දිස්ත්‍රික් පුහුණුකරුවෝ මඟ හැරුණෙ ඇයි?

යන පැනයට පිළිතුරු දෙමින්, මේ අවුරුද්ද මුලදී ඔවුන්ගේ වැටුප් සමාලෝචනයක් කරල තියෙනවා. ඒත් මේ ප්‍රශ්නය මතු වුණාට පසුව ඔවුන්ගේ ප්‍රශ්නය ගැන සොයා බලා කටයුතු කරන්න අතුරු කමිටු සාමාජික කුෂිල් ගුණසේකර මහතා පත්කර තිබෙනවා යනුවෙන් පැවැසීය.
මෙසේ වැටුප් වැඩි කිරීමට ක්‍රිකට් ආයතනය ලාභ ලබන්නේද යන පැනයට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ මොහොමඩ් මහතා අපට මේ අවුරුද්දේ රුපියල් බිලියන 1ක් විතර ලාභයි. අනෙක ඉතිං මේ සිද්ධියේදී අපිව ඕන විදියට පාවිච්චි කරලා වැරැදි අපේ ඇඟේ ගහන්න යන එක හරිම අසාධාරණයි යනුවෙන්ද පැවැසීය.