ජූඩෝ ගැන බලන්න කලින් පිල්ලි ගැහිල්ල සොයන්න කමිටුවක්

133

නාවලපිටියේ ඔටුනු නොපලන් රජවරුන් පිරිසක් විසින් කාලයක් තිස්සේ මූල්‍ය වංචා සිදු කරමින් ජූඩෝ ක්‍රීඩාව තුළ ක්‍රියාත්මක කර තිබූ අක්‍රමිකතා නතර කිරීම සඳහා පියවර ගත් ක්‍රීඩා අමාත්‍යාංශය පසුගියදා එම ක්‍රීඩාවේ පාලනය සඳහා අතුරු පාලන කමිටුවක් පත්කර ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් 7 දෙනකුගෙන් සමන්විත අතුරුපාලන කමිටුවක් පත්කර ඇති අතර එහි සභාපති තනතුර පිරිනමා ඇත්තේ කිත්සිරි සොයිසා මහතාටය. ලේකම්වරයා ලෙස වෛද්‍යවරයකු වන සම්පත් වීරසිංහ මහතාද භාණ්ඩාගාරික ලෙස වින්ග් කමාන්ඩර් සරත් විජේසිංහ මහතාද පත්කර ඇත.

මීට අමතරව ලක්‍ෂ්මන් ගුණසේකර, ලලිත් අඟුනාවල පී.සී. පුෂ්පකුමාර හා රංජිත් දයානන්ද යන අය කමිටු සාමාජිකයෝ ලෙස පත්ව සිටිති.

මේ සියලු දෙනාම ජූඩෝ ක්‍රීඩාවට සම්බන්ධව සිටි ජාතික ශූරයන් මෙන්ම ආසියානු ඒ ශේ‍ර්ණියේ විනිසුරුවන් ලෙස කටයුතු කරන පිරිසක් වීම විශේෂත්වයකි.

පත්වූ මෙම අතුරු කමිටුව තමන්ගේ පළමු රාජකාරිය ලෙස පසුගිය කාලය තුළ ජූඩෝ පරිපාලනය විසින් සිදුකර ඇති වංචා හා දූෂණ සොයා ගැනීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය.

හිටපු නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයකු වූ කේ.එස්. පීරිස්, ජූඩෝ පරිපාලනයේ හිටපු ලේකම්වරයකු වූ බලගණ නායක මංජුල වීරසිංහ හා නීතිඥ මහේෂ් ද සිල්වා මෙම කමිටුවට ඇතුළත්ව සිටිති.

 

 

ක්‍රීඩා අමාත්‍යාංශය ජූඩෝ සංගමයට ලබාදී ඇති රුපියල් ලක්‍ෂ 20ක මුදල, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ලබාදී ඇති රුපියල් ලක්‍ෂ 5ක මුදල, ජාතික ඔලිම්පික් කමිටුව පසුගිය වසර හතරේ වාර්ෂිකව ලබාදුන් මුදල්, ජූඩෝ ශේ‍ර්ණිගත කිරීම්වලින් උපයාගත් මුදල්, වාර්ෂික මහ සභා රැස්වීම් පැවැත්වෙන අවස්ථාවේ එකතු කරන ලද සාමාජික මුදල්, ජූඩෝ ඇඳුම් කට්ටල විකුණා උපයාගන්නා ලද මුදල් හා වාර්ෂිකව ආසියානු ජූඩෝ සංගමය විසින් ලබාදී ඇති මුදල් වශයෙන් රුපියල් ලක්‍ෂ 35ක් ඉක්මවන අති විශාල මුදලින් සිදුකර ඇත්තේ මොනවාද යන්න ඇතුළු අනෙකුත් අක්‍රමිකතා සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම එම කමිටුවේ වගකීම ලෙස සඳහන්ය.