නිකම්ම අරගෙන දුන්න නිසා කාටවත් වටිනාකම දැනුනෙ නැහැ -ඔලිම්පික් කමිටු සභාපති – හේමසිරි ප්‍රනාන්දු

102

එළැඹෙන 2017 වසරේදී තුන් වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල හම්බන්තොට නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ (ඕ. සී. ඒ.) අනුමැතිය ලබා දී තිබුණද ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳව සෑහීමකට පත්නොවූ ඕ. සී. ඒ. බලධාරීන් එම ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගත් බව පසුගිය සිකුරාදා (22දා) නිවේදනය කළේය.

පසුගිය බ්‍රහස්පතින්දා (21දා) ඉරානයේ ටෙහෙරාන් නුවරදී පැවැති ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ 66 වැනි විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව වෙත එල්ල කරනු ලබන දේශපාලන බලපෑම් මෙවන් තීරණයක් ගැනීමට ප්‍රධානම හේතුව ලෙස පෙන්වා දී ඇත. ඕ. සී. ඒ. සභාපති ෂේක් අහමඩ් අල් – ෆහඩ් අල් – සභා මහතා විසින් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා උළෙල ඉවත් කර ගත් බවට නිවේදනය කරන ලද අතර ශ්‍රී ලංකා රජයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වයට ගැටලු ඇති කිරීමද හේතුවක් බව පවසා ඇත.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් 3 වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය ලබා දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නද රුපියල් බිලියන 5කට අධික ආයෝජනයක් කළ යුතු එම ක්‍රීඩා උළෙල ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුත් සත්කාරක සංවිධායක කමිටුව ක්‍රීඩා උළෙලට අදාළ කිසිදු කටයුත්තක් සාර්ථකව ඉටු නොකළ බවද ඕ. සී. ඒ. සභාපතිවරයා එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.

එහෙත් මේ පිළිබඳව ඊයේ ‘මව්බිම’ කළ විමසීමකට පිළිතුරු දුන් ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ දේශපාලන බලපෑම් ඇතිවීම යන කාරණය එක් හේතුවක් පමණක් බවත් මෙම යොවුන් ක්‍රීඩා උළෙල කර ගැනීමට නොහැකි වූයේ පැවැති රජයෙන් ඒ සඳහා මුදල් ලබා නොදුන් නිසා බවත්ය.

රටවල් අතර තරගයකින් තොරව මෙම ක්‍රීඩා උළෙල පහසුවෙන් අරගෙන දුන් නිසා ආණ්ඩුවට එහි නිසි වටිනාකමක් දැනුනේ නැහැයි පැවැසූ ප්‍රනාන්දු මහතා “අපිට රජයෙන් සල්ලි ලැබුණෙත් නැහැ. ඒ නිසා මේක කරන්න බැහැ කියල ඕ. සී. ඒ. එකට දැන්නුවේ අවුරුද්දකට පෙරයි.

එදා ආණ්ඩුව අපට ගේන්න කීවා. ගෙනාවට පස්සෙ සද්ද නැතිව නිකං හිටියා. ඒ ටිකවත් අපි කර ගත්තෙ පෞද්ගලිකව මැදිහත් වෙලයි. අවුරුදු එකහමාරකට කලින් මහා භාණ්ඩාගාර ලේකම් කීවෙ මේවාට කොහේ තියෙන සල්ලිද කියලයි. ක්‍රීඩා උළෙල ගේන්න කීවෙ මහින්ද රාජපක්ෂ හිටපු මුදල් ඇමැතිවරයායි. මුදල් ඇමැතිටත් වඩා ලේකම් බලවත් නිසානේ එහෙම කිව්වෙ. ක්‍රීඩා අමාත්‍යාංශයත් අපිත් එක්ක ප්‍රශ්න ඇති කර ගන්න ආව මිස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයි. ඕ. සී.) දුන් උපදෙස් පරිදි අවශ්‍ය කටයුතු කළේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න දුර දිග ගියා” යනුවෙන්ද පැවැසීය.

කෙසේ වෙතත් මෙම යොවුන් ක්‍රීඩා උළෙල සත්කාරකත්වය සඳහා ලංසු තැබීමේ ලේඛනයට තැන්පත් කළ ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක (රුපියල් ලක්ෂ 135ක් පමණ) මුදල ශ්‍රී ලංකාවට අහිමි වන අතර මෙම ක්‍රීඩා උළෙල පිළිබඳව පරීක්ෂණ වාර්තා සැකසීමට පැමිණි විදේශ නියෝජිතයන්ගේ සංචාරවලට අදාළ වෙනත් වියදම්ද අමතර වියදම් ලෙස ශ්‍රී ලංකාවට දැරීමට සිදුවිය.

නමුත් 2012 ජුනි මස 14දා, ශ්‍රී ලංකාවට පැමිණි ඕ. සී. ඒ. සභාපතිවරයා විසින්ම මෙම ක්‍රීඩා උළෙල සත්කාරකත්වය ලබා දීමේ නිවේදනය නිකුත් කරන ලද අතර ඉන්පසුව ක්‍රීඩා උළෙලට සූදානම පිළිබඳව සොයා බැලීමට ගිය වසරේ මාර්තු හා ජුනි මාසවල මෙරටට පැමිණි ඕ. සී. ඒ. නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ සූදානම පිළිබඳව සෑහීමකට පත්නොවීය. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම ක්‍රීඩා උළෙල නොලැබීමේ අවදානමක් ඇති බවට 2014 අප්‍රේල් 2දා හා 2014 ජුනි මස 16දා යන දිනවල ‘මව්බිම’ පුවත්පතින් හෙළිදරවු කළේය. එහෙත් ඒ කිසිදු කරුණක් සම්බන්ධව අවධානය නොකළ බලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා අද මෙවන් ප්‍රතිඵලයක් අත්වී ඇත. ඒ අනුව මෙම ක්‍රීඩා උළෙල 2017 වසරේ ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී පැවැත්වීමට තීරණය වී ඇත.