ජල ක්‍රීඩා සංගම් නිලවරණය නා ගනී

127

ජාතික ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය මැයි 15වැනි දින නොපැවැත්වෙන බවත්, ඒ සඳහා නියමිත දිනය ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කරන බවත් හිටපු ජල ක්‍රීඩා සංගමයේ ලේකම් අක්‍රි අමීර් මහතා සඳහන් කර තිබුණද එකී නිලවරණය හිටපු ලේකම් හා හිටපු සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් තොරව පසුගියදා පැවැත්වූ බව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් හිටපු ලේකම් අක්‍රි අමීර් මහතාගෙන් “මව්බිම” විමසූ විට ඔහු පැවැසුවේ මෙය නීති විරෝධී නිලවරණයක් බවත්, මේ හේතුවෙන් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමයෙන් (ජ්ධ්ව්ඒ) තහනමකට පවා ලක්වීමට කරුණු නිර්මාණය විය හැකි බවයි.

“ලේකම් හා සභාපතිවරයා නොමැතිව නිලවරණයක් පවත්වන්නේ කොහොමද? ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමයේ නීති රීති පිළිනොගෙන ක්‍රියා කළොත් අපේ ක්‍රීඩකයන්ට විදෙස් සංචාර පවා අහිමි විය හැකියි. ඒ වගේම ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමයෙන් ලබා දුන් ශිෂ්‍යත්ව වැඩසටහනකට අනුව 2016 ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරගෙන අපේ ක්‍රීඩකයන් දෙදෙනකු අවුරුද්දකට තායිලන්තයට යෑමට තේරිලා ඉන්නවා. ඒත් ලෝක ජල ක්‍රීඩා සංගමයට එරෙහිව යමින් මෙවැනි නිලවරණයක් තිබීම හේතුවෙන් එම අවස්ථාව ලංකාවට අහිමිවීමට පවා ඉඩ තියෙනවා” යනුවෙන්ද අක්‍රි මහතා සඳහන් කළේය.

මේ අතර ඇතිවී ඇති තත්ත්වය පිළිබඳව විමසූ විට ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා පැවැසුවේ පැවැති ජල ක්‍රීඩා නිලවරණය නීති විරෝධී නොවන බවත්, කිසිවකුට හෝ ගැටලුවක් ඇතිනම් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවයි.

“නිලවරණයට හිටපු ලේකම් හෝ හිටපු සභාපතිවරයා සහභාගි නොවූ බව මම දන්නේ නැහැ. මේ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අපේ නියෝජිතයෙක් සහභාගි වුණා. නිලවරණය සඳහා සාමාජිකයන් 18 දෙනකුගෙන් 12 දෙනකු සහභාගි වූ නිසා මෙම නිලවරණය පැවැත්වූවා. එහි නීති විරෝධී බවක් පෙනෙන්නට නැහැ” යනුවෙන් සඳහන් කළ රුවන්චන්ද්‍ර මහතා ඊට එරෙහිව විරෝධතා ඉදිරිපත් කළොත් ඒ ගැන විමසා බැලිය හැකි බවද කීය.