රාජකීය විද්‍යාලය තවත් ලකුණු 127ක් පිටුපසින්

147th Battle of the Blues

4

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 147 වැනි වරටත් පැවැත්වෙන නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ පළමු ඉනිමට ක්‍රීඩා කරන රාජකීය විද්‍යාලය ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 127ක් පිටුපසින් පසු වෙද්දී තරගය 2 වැනි දිනයට නතර කෙරුණා.  

සාන්ත තෝමසුන්ගේ ඉනිමට අර්ධ ශතක ද්විත්වයක්

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ අද (13) දිනය ආරම්භ වෙන්නේ රාජකීය විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 203ක් ලබා සිටියදීයි. එම තත්ත්වය හමුවේ පිටියට පිවිසි ඔවුන්ට අද දිනයේ දී  ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 6ක් දැවී ලකුණු  99ක් පමණයි. ඒ අනුව ඔවුන්ගේ පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 302ක් ව තිබිය දී නතර වූවා.  

දිනය ආරම්භ වෙද්දී රෙශෝන් සොලමන්ස් නොදැවී ලකුණු 19ක් ද සහ රපියෙල් හෙට්ටිගේ නොදැවී ලකුණු 12ක් ද ලබා සිටි අතර ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 49ක සබඳතාවක් එක් කර සිටිය දී රපියෙල් හෙට්ටිගේ දැවී යනවා.  

ඔහු දිනයේ පළමු කඩුල්ල ලෙසින් ඉනිම හැර යද්දී පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටියා. රෙශෝන් සොලමන්ස් ඉනිම 7 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 146කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 66ක් ලබා සිටියා. එය සාන්ත තෝමස් විද්‍යාලයීය ඉනිමට එක් වූ 3 වැනි අර්ධ ශතකය වූ අතර ඉනිමේ පිතිකරුවෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වූවා.  

ඔවුන්ට අමතර ව ලුදීශ මාතරගේ පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ද සහ ගිම්හාන් මෙන්ඩිස් පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ද පසු පෙළින් ඉනිමට එක් කරනවා.   

කඩුලු දවා ගැනීමේ දී ගගන ගමගේ ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 49කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතර ව සෙහඳු සූරියආරච්චි ලකුණු 64කට කඩුලු 3ක් ද සහ හිමරු ද සිල්වා ලකුණු 43කට කඩුලු ද්විත්වයක් ද දවා ගත් අතර ඉතිරි කඩුල්ලේ හිමිකාරීත්වය රමිරු පෙරේරා සතු වෙනවා.   

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රාජකීය විද්‍යාලයීය ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට ප්‍රතිවාදී සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ ගත් ආරම්භය එපමණකින් නතර කිරීමට රාජකීය විද්‍යාලයීය නායක රෙහාන් පීරිස් සහ රමිරු පෙරේරා සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව සාන්ත තෝමසුන්ගේ පළමු කඩුල්ලේ උද්ධාමය බිඳ දමමින් සිව් වැනි කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් ගොඩ නගනවා.  

එහි දී රෙහාන් පීරිස් පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 63ක් ලබා ගනිමින් සිව් වැනි කඩුල්ලට දැවී ගියා.  

තරගය පළමු දිනයට නතර කරන විට රමිරු පෙරේරා පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 70ක් ලබා ගනිමින් ස්ථාවර ඉනිමක් ගොඩ නගාගෙන සිටි අතර යසිඳු දිසානායක නොදැවී ලකුණු 2ක් ලබා සිටියා.   

කඩුලු දවා ගැනීමේ දී ආරම්භක වේග පන්දු යැවී ගිම්හාන් මෙන්ඩිස් ලකුණු 44කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව ලුදීශ මාතරගේ සහ අභීත් පරණවිදාන කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • සාන්ත තෝමස්විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 302 (124.1) ජේඩන් අමරවීර 52, අවිනාශ් ප්‍රනාන්දු 50, මෙතුක ගුණරත්න 44, රෙශෝන් සොලමන්ස් 66, රපියෙල් හෙට්ටිගේ 20, ලුදීශ මාතරගේ 23, ගගන ගමගේ 4/49, සෙහඳු සූරියආරච්චි 3/64, හිමරු ද සිල්වා 2/43 
  • රාජකීයවිද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 175 (51.1) රෙහාන් පීරිස් 63, රමිරු පෙරේරා නොදැවී 70, ගිම්හාන් මෙන්ඩිස් 44/2 

කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 127ක් පිටුපසින්. 

මෙම තරගය හෙට (14) 3 වැනි සහ අවසන් දිනයටත් පැවැත්වීමට නියමිතයි.  

මෙම තරගයේ පන්දුවෙන් පන්දුව උණුසුම ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare 2 නාලිකාව ඔස්සේ Dialog TV චැනල් 126 සුසර කර ගැනීමෙන් සජීවී ව නැරඹිය හැකි අතර ඊට අමතර ව Dialog app සහ ThePapare.com වෙතින් ද නැරඹිය හැකියි. 

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<