කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 147 වැනි වරටත් පැවැත්වෙන නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද (12) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ආරම්භ වූවා.
එම තරගයේ ආරම්භක පිතිකරුවන් වූ ජේඩ්න් අමරවීර සහ නායක අවිනාශ් ප්‍රනාන්දු අර්ධ ශතක ඉනිම් වාර්තා කරනවා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජකීය විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 203ක් ලබා සිටියා.
කොළඹ රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
රෙහාන් පීරිස් (නායක), දුහේන් උඩවෙල, ගගන ගමගේ, හිමරු ද සිල්වා, හිරුන් මතීශ, මහිරු කොඩිතුවක්කු, රමිරු පෙරේරා, සෙහඳු සූරියආරච්චි, උදන්ත ගංගේවත්ත, විමත් දින්සර සහ යසිඳු දිසානායක.
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
අවිනාශ් ප්‍රනාන්දු (නායක), ජේඩ්න් අමරවීර, මෙතුක ගුණරත්න, ආරොන් කොඩිතුවක්කු, රෙශෝන් සොලමන්ස්, ස්ටීවන් පීරිස් (කඩුලු රකින්නා), රපියෙල් හෙට්ටිගේ, අභි. පරණවිදාන, ශනිල් පෙරේරා, ලුදීශ නිම්සර සහ ගිම්හාන් මෙන්ඩිස්.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටිය පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූයේ ජේඩ්න් අමරවීර සහ නායක අවිනාශ් ප්‍රනාන්දු විසිනුයි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 110ක සබඳතාවක් ගොඩ නගනවා.
ජේඩ්න් අමරවීර පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 52ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව මෙතුක ගුණරත්න පිටියට පිවිසියා. ඔහු පැමිණීමෙන් අනතුරු ව සාන්ත තෝමස් විද්‍යාලයීය ඉනිමට ලකුණු 7ක් එක් වෙද්දී නායක අවිනාශ් ප්‍රනාන්දු ද තම ඉනිම හැර ගියා. ඔහු දැවී යන විට පන්දු 145කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා.
ප්‍රතිවාදී රාජකීය විද්‍යාලයීය පන්දු යවන්නෝ අද දවසේ දී ලබා ගත් ඉහළ ම සැනසීම වූයේ, ඒ ලකුණු 7ක් තුළ 2 වැනි කඩුල්ල දැවී යෑමයි.
- 109 වැනි උතුරු රන් සටන – පළමු දිනයේ තරග වාර්තාව
- 119 වැනි “Battle of the North” පාසල් මහා ක්‍රිකට් තරගයේ තරග වාර්තාව
- 76 වැනි මොරටු රන් සටන – තෙවන දිනයේ තරග වාර්තාව
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ජේමි සිඩන්ස් පත් කිරීම
- 147 වැනි “නිල් මහා සටන” (Battle of the Blues) පිළිබඳ විශේෂ ලිපිය / තරග පෙරදසුන
එම කඩුල්ල දැවී යෑමෙන් අනතුරු ව ඉනිමේ 3 වැනි කඩුල්ලට මෙතුක ගුණරත්න හා ආරොන් කොඩිතුවක්කු එක් ව ලකුණු 37ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ආරොන් කොඩිතුවක්කු පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12කට දැවී යෑමත් සමඟිනුයි.
අනතුරු ව මෙතුක ගුණරත්න ඉනිමේ සිව් වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියා.
තරගයේ පළමු දිනයට අවසන් වෙද්දී රෙශෝන් සොලමන්ස් පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ද සහ රපියෙල් හෙට්ටිගේ පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ගගන ගමගේ, සෙහඳු සූරියආරච්චි, හිමරු ද සිල්වා සහ රමිරු පෙරේරා කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත තෝමස්විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– පළමු ඉනිම කඩුලු 4ක් දැවී 203 (90.0) ජේඩන් අමරවීර 52, අවිනාශ් ප්‍රනාන්දු 50, මෙතුක ගුණරත්න 44, රෙශෝන් සොලමන්ස් නොදැවී 19
මෙම තරගය හෙට (13) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.
මෙම තරගයේ පන්දුවෙන් පන්දුව උණුසුම ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare 2 නාලිකාව ඔස්සේ Dialog TV චැනල් 126 සුසර කර ගැනීමෙන් සජීවී ව නැරඹිය හැකි අතර ඊට අමතර ව Dialog app සහ ThePapare.com වෙතින් ද නැරඹිය හැකියි.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.






















