මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර 126 වැනි වරටත් පැවැත්වෙන මාතොට නිල් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය (20) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී නිමා වූවා.
එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විද්‍යාලය තම පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 158ක් පමණයි. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත සර්වේශස් විද්‍යාලය මේ වන විට කඩුලු 8ක් දැවී ලකුණු 97ක් ලබා සිටින අතර ඔවුන්ට පළමු ඉනිමේ වාසිය ලබා ගැනීමට නම් තවත් ලකුණු 61ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් ඔවුන් සතුව ඇත්තේ තවත් කඩුලු ද්විත්වයක් පමණයි.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත සර්වේශස් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට අවස්ථාව සැලසෙන්නේ ප්‍රතිවාදී සාන්ත තෝමස් විද්‍යාලයටයි.
සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
අබ්දුල් මජීඩ් (නායක), සස්වින් වික්‍රමනායක, පවින්ජිත් ජයන්ත, මනුග යොනාල්, කුමේෂ් නුවන්ජන, තත්සර දෙව්මිත්, විහඟ සංකල්ප, පුනාල් පමුදිත, චනුත් මින්සිත, සෙතුජ මන්දිනු සහ අබ්දුල් රශීඩ්.
සාන්ත සර්වේශස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
චමරින්දු නෙත්සර (නායක), විරාන් චමුදිත, රිසිනු කිත්මුක, හේෂාන් මදුශංක, තත්සිලු බණ්ඩාර, මිහරංග ජයවීර, මදුසංක රත්නායක, සමිරු ගිම්හාන්, මුහමදුල් සාධික්, බිනාල් නෙත්මක සහ ලසිඳු සත්සර.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය පිතිකරුවන් නොසිතූ අකරතැබ්බයකට පත් කිරීමට සාන්ත සර්වේශස් පන්දු යවන්නෝ සමත් වෙනවා. එහි දී පෙරමුණ ගන්නේ ආරම්භක වේග පන්දු යැවූ මුහමදුල් සාධික් සහ වමතින් දඟ පන්දු යැවූ සමිරු ගිම්හාන්.
ඔවුන් අතුරින් මුහමදුල් සාධික් ලකුණු 37කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර සමිරු ගිම්හාන් ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත්තා. අනෙක් කඩුලු ත්‍රිත්වය ම දැවී යන්නේ දුවද්දී දැවී යෑම්වලට ගොදුරු වෙමින්.
එලෙසින් අසරණ වූ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ තත්සර දෙව්මිත්. ඔහු පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 59ක් ලබා ගන්නවා. ඔහුට අමතර ව කුමේෂ් නුවන්ජන පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ආරම්භක පිතිකරු අබ්දුල් මාජිඩ් ද පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ද සහ අබ්දුල් රශීඩ් ද ලකුණු 23ක් ලබා ගන්නවා. අනෙක් සෑම පිතිකරුවෙක්ගේ ම ඉනිම් තනි ඉලක්කම් ලකුණකට සීමා වුණා.
- රිච්මන්ඩ්වරුන්ගෙන් ලකුණු 316ක ඉලක්කයක්
- සාන්ත පීතරයන් තවත් ලකුණු 104ක් පිටුපසින්
- සාන්තුවරයන්ගේ සටනට අර්ධ ශතක ත්‍රිත්වයක්
- සාන්තුවරයෝ 92 වැනි වරටත් ගැටෙයි
- උතුරු රන් සටන විසඳුමක් නෑ
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ ද මේ වන විට දැඩි ලකුණු අර්බුදයකට ලක් ව සිටිනවා. ඒ තමන් සතු දුප්පත් ඉනිම අභිබවා යෑමට තවත් ලකුණු 61ක් තිබිය දී කඩුලු 8ක් දවා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් වීම හේතුවෙනුයි.
එහි දී පෙරමුණ ගන්නේ දකුණතින් මඳ වේග පන්දු යැවූ පුනාල් පමුදිත. ඔහු ලකුණු 13කට කඩුලු 3ක් දවා ගනිද්දී වමතින් දඟ පන්දු යැවූ විහඟ සංකලන ලකුණු 7කට කඩුලු 2ක් දවා ගනිමින් ඊට මනා රුකුලක් දෙනවා. ඊට අමතර ව වින්දිල චනුත්, තත්සර දෙව්මිත් සහ සිනුර පවින්ජි කඩුල්ල බැගින් දවා ගන්නවා.
අසරණ වූ සාන්ත සර්වේශස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු හේෂාන් මදුශංක. ඔහු පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 31ක් ලබා ගන්නවා.
ඊට අමතර ව තරගය පළමු දිනයට නතර කරන විට චමෝද් මිහරංග පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා සිටියා. ඔවුන්ගේ ඉනිමේ පිතිකරුවෝ 6ක් ම දැවී යන්නේ තනි ඉලක්කමේ ලකුණු සංඛ්‍යාවන්වලටයි.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 158 (53.5) අබ්දුල් මාජිඩ් 26, තත්සර දෙව්මිත් 59, කුමේෂ් නුවන්ජන 32, මුහමදුල් සාධික් 4/37, සමිරු ගිම්හාන් 3/26
- සාන්ත සර්වේශස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 97 (32.0) හේෂාන් මදුශංක 31, චමොද් මිහිරංග නොදැවී 20, පුනාල් පමුදිත 3/13, විහඟ සංකල්ප 2/07
සාන්ත සර්වේශස් විද්‍යාලය ලකුණු 61ක් පිටුපසින්.
මෙම තරගය අද (21) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.
දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD1 නාලිකා අංක 62 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















