1982න් ඇරඹි ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ කඩුලු ශතක සමාජයට අලුතෙන්ම එක් වූ ක්‍රීඩකයා වූයේ සුරංග ලක්මාල් ය. පසුගිය දා මිර්පුර් හි දී නිමා වූ බංග්ලාදේශය සමඟ වූ දෙවැනි ටෙස්ට් තරගයේ දී ලක්මාල් මේ කඩඉමට පිවිසියේ ලකී සෙවන් ක්‍රීඩකයා වෙමිනි. වසර 26ක් වන ශ්‍රී ලාංකීය ටෙස්ට් තරග ඉතිහාසයේ මෙකී දක්ෂතාව කළ ක්‍රීඩකයන් අලළා ThePapare.com ඒ සම්බන්ධයෙන් තබන සටහනකි මේ.
[rev_slider LOLC]
කඩුලු ශතක සමාජය
| ක්‍රීඩකයා | තරග | ඉනිම් | පන්දු වාර | නො. ප. | ලකුණු | කඩුලු |
| මුත්තයියා මුරලිදරන් | 133 | 230 | 7339.5 | 1794 | 18180 | 800 |
| චමින්ද වාස් | 111 | 194 | 3906.2 | 895 | 10501 | 355 |
| ලසිත් මාලිංග | 30 | 59 | 868.1 | 112 | 3349 | 101 |
| රංගන හේරත් | 89 | 162 | 4153.2 | 780 | 11694 | 415 |
| දිල්හාර ප්‍රනාන්දු | 40 | 68 | 1030.1 | 143 | 3784 | 100 |
| දිල්රුවන් පෙරේරා | 27 | 50 | 1144.0 | 158 | 3732 | 106 |
| සුරංග ලක්මාල් | 44 | 79 | 1374.3 | 250 | 4444 | 102 |
මුත්තයියා මුරලිදරන්

එතැන් සිට වසර 5ක ඇවෑමෙන් මුරලිදරන් කඩුලු ශතක සමාජයට පිවිසෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක සමාජයට පිවිසි පළමුවැන්නා වෙමිනි. ඒ තම 27 වැනි තරගයට ක්‍රීඩා කරමිනි. නවසීලන්තය සමග හැමිල්ටන් හි දී පැවති මෙම තරගයේ දී මුරලිදරන්ගේ ශතක ගොදුර බවට පත්වෙන්නේ නායක ස්ටීවන් ෆ්ලෙමින් ය.
ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා විට මුරලිදරන්ගේ තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ 2002 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 51කට ලබා ගත් කඩුලු 9 වූවද, කඩුලු ශතක සමාජයට පිවිසෙද්දී මුරලිදරන්ගේ හොඳම පන්දු යැවීම බවට පත්ව තිබුණේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 1996 වසරේ ලකුණු 55කට ලබා ගත් කඩුලු 5යි. එම තරගයේ දී ම දෙවැනි ඉනිමේ දක්ෂතා සමඟ එකතුව ලකුණු 61කට ලබා ගත් කඩුලු 7 ශතක සමාජයට පිවිසෙද්දී තරගයක හොඳම පන්දු යැවීම විය. මුරලිදරන්ගේ සමස්ත ටෙස්ට් තරගවල තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වන්නේ 1998 වසරේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 220කට ලබා ගත් කඩුලු 16යි.
මුරලිගේ ටෙස්ට් තරග ඉතිහාසයේ කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 67ක් වාර්තා වන විට කඩුලු ශතක සමාජයට එක්වෙන විට එකී දක්ෂතාව අවස්ථා 6ක් විය. කඩුලු 10ට වැඩියෙන් ලබා ගත් අවස්ථා නොවුණි.
චමින්ද වාස්

වසර 15ක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලි වාස් ටෙස්ට් තරග පිටියෙන් සමුගන්නා විට තරග 111කට සහභාගී වී කඩුලු 355ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ලැයිස්තුවේ තෙවැනියා බවට පත්ව තිබේ. වාස්ගේ ටෙස්ට් තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් ලකුණු 71කට ලබා ගත් කඩුලු 7 ද, හොඳම පන්දු යැවීම ලෙසින් ලකුණු 191කට ලබා ගත් කඩුලු 14 ද සටහන් වේ. මෙම දක්ෂතාව බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2001 වසරේ දී වාර්තා වී ඇත.
වාස්ට ශතක කඩුලු සමාජයට පිවිසීමට ටෙස්ට් තරග 33ක ඉනිම් 51ක් ක්‍රීඩා කිරීමට සිදු විය. ගොදුර බවට පත් වූයේ සිම්බාබ්වේ කණ්ඩායමේ බ්‍රයන් ස්ට්‍රෑන්ග් ය. මේ වෙනුවෙන් වාස් ටෙස්ට් ක්‍රීඩා කළ වසරවලින් හරියටම තුනෙක් එකක් හෙවත් වසර 5ක කාලයක් වැය කළේය.
ඒ වෙද්දී වාස්ගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වූයේ 1995 වසරේ දී නවසීලන්තයට එරෙහිව ලකුණු 87කට ලබා සිටි කඩුලු 6යි. තරගය හොඳම පන්දු යැවීම වූයේ ඊට ප්‍රථම තරගයේ දී නවසීලන්තයටම එරෙහිව ලකුණු 90කට ලබා ගත් කඩුලු 10යි.
වාස්ගේ කඩුලු 100 තුළ ඉනිමක පන්දු යැවීමේ දී කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 4ක් වාර්තා වන අතර තරගයක කඩුලු 10කට වඩා ලබා ගත් අවස්ථාවක් සටහන් වේ.
ලසිත් මාලිංග

සමුගන්නා විට ටෙස්ට් තරග 30කට සහභාගී වී සිටි මාලිංග ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් 2010 වසරේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 50කට දවාගත් කඩුලු 5 ද, තරගයක වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසින් 2005 වසරේ දී නවසීලන්තයට එරෙහිව ලකුණු 210කට ලබා ගත් කඩුලු 9 ද වාර්තා පොත්වල සටහන්ව තිබේ. ඉනිමක කඩුලු 5කට වැඩියෙන් ලබා ගත් අවස්ථා 3ක් සටහන් වේ.
ශතක කඩුලු සමාජයේ වේගපන්දු යවන්නෙක් විසින් එකී දක්ෂතාවට ඉතාම ඉක්මනින් පිවිසි ක්‍රීඩකයා ලෙසින් මාලිංගගේ නම ඉතිහාස ගත වේ.
රංගන හේරත්

තම පළමු ටෙස්ට් කඩුල්ල ලෙසින් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ රිකි පොන්ටින්ගේ කඩුල්ල දවා ගන්නා රංගන තම ශතක ටෙස්ට් කඩුල්ල ලෙසින් දවා ගන්නේ තමන් මුහුණ දුන් 29 වැනි තරගයේ 50 වැනි ඉනිමේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පීටර් සීඩ්ල් දවා ගනිමිනි. ඒ 2011 වසරේ දී ය. ඒ අනුව රංගනට ටෙස්ට් ශතක කඩුලු සමාජයට පිවිසීමට වසර 12ක්ම පන්දු යැවීමට සිදු වන්නේය.
රංගනගේ ටෙස්ට් දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් 2014 වසරේ දී පාකිස්තානයට එරෙහිව ලකුණු 127කට කඩුලු 9ක් දවා ගැනීම සටහන් වෙද්දී, ශතක කඩුලු සමාජයට පිවිසෙද්දී ඔහුගේ ඉහළම ඉනිමක දක්ෂතාව බවට පත් කර ගැනීම එකී කඩඉමට පිවිසි තරගයම උපයෝගී කර ගැනීමට සමත් විය. දක්ෂතාව ලියැවුණේ ලකුණු 157කට කඩුලු 7ක් ලෙසිනි. තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් ලකුණු 183කට ලබා ගත් කඩුලු 14 එම තරගයේ දී ම වාර්තා වූ අතර කඩුලු ශතකය ලබා ගන්නා විට ඔහුගේ දක්ෂතාව ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 188කට ලබාගත් කඩුලු 8යි.
රංගනගේ ටෙස්ට් කඩුලු ඉතිහාසයේ ඉනිමක කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 33ක් සටහන් වෙද්දී කඩුලු ශතක සමාජයේ සාමාජිකත්වයට පත් වෙද්දී එකී දක්ෂතාව වාර 6කට සීමා වේ. කඩුලු 10 වැඩියෙන් ලබා ගත් අවස්ථා 9ක් ටෙස්ට් තරග ඉතිහාසයට එකතු වෙද්දී ශතක කඩුලු සමාජයට එක්වෙද්දී එකී දක්ෂතාව කිරීමට සමත්ව නැත.
දිල්හාර ප්‍රනාන්දු

තම මංගල කඩුල්ල ලෙසින් පාකිස්තානයේ මොහොමඩ් වසීම් දවා ගන්නා දිල්හාර 100 වැනි කඩුල්ල ලෙසින් 2012 වසරේ දී පාකිස්තානයේ ම මොහොමඩ් සාමි දවා ගන්නේය. වසර 12ක කාලයක දී ටෙස්ට් තරග 40කට සහභාගී වී ඇති දිල්හාරගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ 2001 වසරේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 42කට වාර්තා කළ කඩුලු 5 යි. තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ 2005 වසරේ දී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ව ලකුණු 95කට දවාගත් කඩුලු 7යි. ඉනිමක කඩුලු 5 බැගින් ලබා ගත් අවස්ථා 3ක් දිල්හාරගේ පන්දු යැවීම සටහන් වී ඇත.
දිල්රුවන් පෙරේරා

පාකිස්තානයේ අසාර් අලීගේ කඩුල්ල ලබා ගනිමින් ටෙස්ට් කඩුලු දඩයම ආරම්භ කරන දිල්රුවන් තම සිය වැනි ටෙස්ට් කඩුල්ල වාර්තා කරන්නේ ඉන්දියාවේ ශිකර් ධවාන් දවා ගනිමිනි.
වත්මන් කණ්ඩායමේ ප්‍රවීණ භූමිකාවකට පණ පොවන දිල්රුවන්ගේ ඉනිමක පෞද්ගලික ටෙස්ට් කඩුලු දක්ෂතාව වන්නේ 2016 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 70කට ලබා ගන්නා කඩුලු 6 වන අතර එම තරගයේ ඉනිම දෙකේම එකතුව වූ ලකුණු 99කට ලබා ගත් කඩුලු 10 තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වන්නේය. මෙම දක්ෂතා කඩුලු ශතක සමාජය වෙනුවෙන් ද වලංගු වන්නේ දිල්රුවන් තවමත් ලබා ඇත්තේ ටෙස්ට් කඩුලු 106ක් බැවිනි.
දිල්රුවන් ටෙස්ට් ශතක සමාජයට පිවිසෙන්නේ ඉනිමක කඩුලු 5ට වැඩි අවස්ථා 5ක් සහ කඩුලු 10ට වැඩි අවස්ථාවක් තම ගිණුමට බැර කර ගනිමිනි.
සුරංග ලක්මාල්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල්ගේ කඩුල්ල ලබා ගනිමින් ඇරඹෙන සුරංගගේ කඩුලු දඩයමේ ශතක කඩුල්ල සම්පූර්ණ වන්නේ බංග්ලාදේශයේ තමීම් ඉක්බාල් දවා ගැනීමෙනි.
ටෙස්ට් තරග දිවියේ වැඩිම කාලයක් වැය කරමින් කඩුලු ශතක සමාජයේ සාමාජිකත්වය ගත් තැනැත්තා වන්නේ සුරංග ලක්මාල් ය. ඔහුට ඒ වෙනුවෙන් ගත වූ කාලය වසර 8කි. මේ වෙද්දී ඔහුගේ කඩුලු ලබා ගැනීමේ ඉනිමක හොඳම ඉනිම ලෙසින් 2016 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහි ව ලකුණු 63කට ලබා ගත් කඩුලු 5 ද, තරගය හොඳම කඩුලු ලබා ගැනීම ලෙසින් 2017 වසරේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 119කට ලබා ගත් කඩුලු 7 සටහන් ව තිබේ.
සුරංගගේ කඩුලු ලබා ගැනීම් හී ඉනිමක කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගැනීම් වාර්තා වන්නේ එක් වරක් පමණි.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















