ඇසෑම් නුවර පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු තරඟාවලියේ සිව්වන දිනය වු ඊයේ දවසේ (9)  පදක්කම් සටහනට අනුව  ශ්‍රී ලංකාව මේ වන විට රන්පදක්කම් 17ක් රිදි පදක්කම් 33ක් සහ ලෝකඩ පදක්කම් 34ක් ඇතුළුව සමස්ථ පදක්කම් 87ක් දිනාගෙන පදක්කම් සටහනේ  දෙවන ස්ථානයේ පසුවෙයි.

ජවන හා පිටිය මළල ක්‍රීඩා

ඊයේ(09) දවසේ  සුවිශේෂී සිදුවිම ලෙස ශ්‍රී ලංකාව  දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා සහ ධාවිකාව බිහි කිරීමට සමත් වීමයි  . වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වුයේ ශ‍්‍රී ලංකාවේ හිමාෂ ඒෂාන්. ඒ මීටර් 100 ධාවන ඉසව්ව ජය ගනිමින්. ඔහු එම ඉසව්වේ මූලික තරගයද තත්පර 10 යි දශම 2 යි 6 කින් තරගය නිම කරමින් නව දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීම විශේෂත්වයක් විය. තත්පර 11.60 කින් මීටර් 100 කාන්තා ධාවන ඉසව්ව නිමකළ ශ‍්‍රී ලංකාවේ රුමේෂිකා රත්නායක දකුණු ආසියානු ක්‍රීඩා  උළලේ වේගවත්ම‍ ක්‍රීඩිකාව  බවට පත්විය. මිටර 800 කාන්තා ධාවන  තරඟය විනාඩි 2.09කින් නිමකරමින් එහි ද රන් පදක්කම දිනාගන්නට ශ්‍රී ලංකාව නියෝජනය කළ එල්.ඒ නිමාලි සමත් විය.

පිරිමි මිටර 800 ධාවන  ඉසව්ව නියොජනය කළ හේමන්ත කුමාර එම ඉසව්ව විනාඩි 1යි තත්පර 53 කින්  නිමකරමින් එහි රිදි පදක්කම දිනාගන්නට සමත් විය. පිරිමි මිටර 400 ධාවන ඉසව්ව තත්පර 48.03 කින් නිමාකළ ජි.ඒ. ප්‍රේමකුමාර එම ඉසව්වේ රිදි පදක්කම් ලාභියා විය.  කාන්තා මිටර 5000 ධාවන  ඉසව්ව නියෝජනය කළ කේ.එන් රත්නායක විනාඩි 05.85කින් තරඟය නිමකරමින් එහි ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදි.

උස පැනිමේ ඉසව්ව නියෝජනය කළ මංජුල කුමාර 2.17 දක්ෂතාවයක් දක්වමින් එහි රන් පදක්කම දිනාගන්නට සමත් විය. අද පැවති දුර පැනිම කාන්තා ඉසව්ව නියෝජනය කළ එස්.එල්.එස් සිල්වා එම ඉසව්වේ රිදි පදක්කම දිනාගන්නට සමත් විය. එහි රන් හා ලෝකඩ පදක්කම් ඉන්දියාවට හිමිවිය.

Shot put ඉසව්ව නියොජනය කළ ඩබ්ලිව්.ටි.කේ ප්‍රනාන්දු  ලකුණු 14.87ක් ලබාගෙන එහි ලෝකඩ පදක්කම දිනාගන්නට සමත් විය.

පාපැදි

ඊයේ(09) දිනයේ  පැවති  කිලෝමීටර 100 පාපැදි තරඟය නියෝජනය කළ ජිවන් මංජුල ජයසිංහ එහි රන් පදක්කම දිනාගැනීමට සමත්විය. පැය 02කුත් විනාඩි 25කින් සහ තප්පර 28කින් තරඟය නිමකිරිමට ඔහු සමත් විය. එහි රිදි පදක්කම ඉන්දියාවටත් ලෝකඩ පදක්කම පකිස්ථානයටත් හිමිවිය.

බර ඉසිලිමේ අංශය

පිරිමි කිලෝග්‍රෑම් 105 බර පංතිය යටතේ තරඟ කළ සමන් අබේවික්‍රම එම ඉසව්වේ ලෝකඩ  පදක්කම දිනාගන්නට සමත් විය. එහි රන් පදක්කම පකිස්ථානයටත්  රිදි පදක්කම ඉන්දියාවටත්  හිමිවිය.

තවද, කාන්තා  කිලෝග්‍රෑම් 75ට වැඩි බර පංතිය යටතේ තරඟ කළ ඉෂානි අනුෂ්කා එම ඉසව්වේ රිදි පදක්කම දිනාගන්නට සමත් විය. කිලෝග්‍රෑම් 173ක සමස්ථ බරක් ඔසවමින් ඇය මෙම පදක්කම තමන් සතුකරගන්නට සමත් විය. එහි රන් පදක්කම ඉන්දියාවටත් ලෝකඩ පදක්කම නේපාලයටත් හිමිවිය.

දුනු විදිමේ අංශය

දුනු විදිමේ කාන්තා කණ්ඩායම නියෝජනය කළ දිල්හාරා සල්ගාදු, අනුරාධා කරුණාරත්න සහ සුචිනි උඹයසිංහ කාන්තා කණ්ඩායම් දුනු විදිමේ ඉසව්වේ රිදි පදක්කම දිනා ගන්නට සමත් විය. එසේම දුනු විදිමේ පිරිමි කණ්ඩායම නියොජනය කළ නිපුන සෙනෙවිරත්න, ඉන්ද්‍රරත්න සහ සංජිවද සිල්වා  පිරිමි කණ්ඩායම් දුනු විදිමේ ඉසව්වේ රිදි පදක්කම දිනා ගන්නට සමත් විය. පිරිමි කාන්තා ඉසව් දෙකහිම රන් පදක්කම් ඉන්දියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගනු ලැබිය.

වොලිබෝල් තරඟ

පිරිමි වොලිබෝල් අර්ධ අවසන් වටයේදි ප්‍රබල පකිස්ථානය තරඟ වට 3-1ක් ලෙස පරාජය කළ පිරිමි වොලිබෝල් කණ්ඩායම අවසාන මහ තරඟයට සුදුසුකම් ලැබිය. කාන්තා වොලිබෝල් කණ්ඩායම ද අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ඇති අතර හෙට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මෙන්ම කාන්තා කණ්ඩායම ද රන් පදක්කම සඳහා ප්‍රභල  ඉන්දියානු කණ්ඩායම් වලට එරෙහිව තරඟ වදිනු ඇත.