යුධ පිටියේ පාපන්දු තරුව “ලූකා මොඩ්රිච්”

6796

“එදා අම්මා තාත්තා එක්ක වැඩපොළට ගිහින් හිටියේ. සීයා එළියට ගියා ගෙදරට ඕන බඩු වගයක් ගේන්න. මං කවදාවත් හිතුවේ නෑ මං මගේ සීයාව දැක්කේ ඒ අන්තිම වතාවට කියලා. සීයා ගිහින් ටික වෙලාවකට පස්සේ මං යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න ගියා. යාළුවෝ එක්ක සෙල්ලම් කර කර ඉද්දී වෙඩි ශබ්ද වගයක් ඇහුණ නිසා අපි සෙල්ලම් කරන එක දාලා ගෙවල්වලට දිව්වේ හැංගෙන්න. හවස අම්මයි තාත්තයි ඇවිල්ලා “ආයේ පුතාගේ සීයා ගෙදර එන්නේ නෑ”  කිව්වත් මට ඒක තේරුණේ නෑ. මොකද ඒ දවස්වල මගේ වයස අවුරුදු 6ක් විතර ඇති.” ලූකාට එතනින් එහාට කතා කරන්න තරම් ශක්තියක් තිබුණේ නෑ.

කවුද මේ ලූකා? එයා මොනවද කරන්නේ? එයාට මොනවද වුණේ? ආදී ප්‍රශ්න වැලක් දැන් ඔබේ හිතට ඇවිල්ලා ඇති.

ලූකා මොඩ්රිච් (Image Courtesy – TheSun)

ලූකා මොඩ්රිච් කියන්නේ ක්‍රොඒෂියානු (CROATIA) පාපන්දු කණ්ඩායමේ වර්තමාන නායකයා. මේ දවස්වල පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය දක්වා පැමිණීමට ඔවුන් සමත් වී තිබෙනවා. ඒ සඳහා ලූකා මොඩ්රිච්ගෙන් ලැබුණු සහාය කියා නිම කළ නොහැක කීවාට වරදක් නැත. මේ වන විට ලූකා තම සාර්ථකත්වයේ හිණිපෙත්තටම පැමිණ සිටියත් ඔහුගේ කුඩා අවධිය නම් ගෙවුණේ යුධ බිමක කියලා කිව්වොත් ඔබට පුදුම හිතෙයි.

වර්ෂ 1985 සැප්තැම්බර් මස 09 වැනිදා ඔහු ක්‍රොඒෂියාවේ සඩාර් නගරයේ ඈත කෙළවර දුෂ්කර ගමක් වූ මොඩ්රිචි නම් ගමේ උපත ලැබුවේ ස්ටිපි මොඩ්රිච් හා රඩෝජ්කා ඩොපුඩ් නම් දෙපලට දාවයි. මේ මොඩ්රීච් පවුල ආර්ථිකය අතිනුත් එතරම් ශක්තිමත් නොවුන නිසා මව හා පියා දෙදෙනාම රැකියා වලට යන්නේ පුංචි ලූකාව සීයා සමඟ තනි කරලා. සීයාගේ නමත් ලූකා මොඩ්රිච් වූ නිසාම මේ දෙදෙනා අතර තිබුණ බැඳීම වචනයෙන් කියල ඉවර කරන්න බැරි තරම්. නමුත් ඒ බැඳීමට අවසාන තිත තියන්නට සිදුවෙන්නේ කවුරුත් නොහිතන වෙලාවක, නොහිතන විදිහකට. සර්බියානු ත්‍රස්තයින් පිරිසක් අතින් ඔහුගේ සීයාව වෙඩි තබා ඝාතනය වෙද්දී ලූකාට වයස අවුරුදු 6යි. එදාම තමන් මෙතෙක් කල් ජිවත් වුන නිවසත් අහිමි වෙන්නේ ත්‍රස්තයන් විසින් නිවසට ගිනි තබා විනාශ කිරීම නිසයි. ඒ සමඟම ලූකා තමන්ගේ මව හා පියා සමඟ “කොලවාරේ” නම් සරණාගත කඳවුර වෙත යන්නේ ජීවිත බේරා ගැනීමේ අරමුණ පමණක් හිතේ තියාගෙන.

ලූකා වයස අවුරුදු 6දී (Image Courtesy- TheSun)

යුගෝස්ලාවියානු සිවිල් යුද්ධය ආරම්භ වුන මේ කාලය ගත කරන්න ලූකාට ගොඩාක් අමාරු වුනා. බොන්නට වතුර ලැබුණේ නැති වුනත් මරණ භය ඇති කරන වෙඩි ප්‍රහාර ඔවුන්ට නොඅඩුව ලැබුණා. රාත්‍රී කාලයේ ඔවුන්ගේ කඳවුරු ආලෝකමත් කිරීමට බෝම්බ ප්‍රහාර සමත් වුනා. මේ නිසාම ලූකාට හා ඔහුගේ නැගණිය වුණු ජස්මිනාට කඳවුරෙන් එලියට බැස සෙල්ලම් කිරීම පවා තහනම් වුනා. එම කඳවුරේ අවුරුදු 7ක් පමණ කාලය ගත කළ මොඩ්රිච් පවුල මීළඟට යැවුණේ “ඉස්‌Z ” නම් සරණාගත කඳවුරටයි.

මොඩ්‍රිච් පවුලේ ගිනිබත් වූ නිවස අද (Image Courtesy – TheSun)

මේ අලුත් සරණාගත කඳවුරේ කාලය ගත කරන ලූකාගේ හිත අලුත් දෙයකට යොමු වෙනවා. ඒ තමයි කඳවුරේ ඉන්න බාල-තරුණ සියල්ලම වාගේ සවසට කරන පාපන්දු සෙල්ලමට. ඔවුන් කඳවුරේ වාහන නවතා තබන ස්ථානය තමන්ගේ ක්‍රීඩා පිටිය ලෙස භාවිතා කරන්නට පටන් ගන්නේ වෙනත් ඉඩකඩ තිබෙන තැනක් කඳවුර අසල නොමැති නිසා. පසු කාලීනව පවත්වනු ලැබූ සම්මුඛ සාකච්ඡාවක දී ලූකා තමන් ගෙවූ කඳවුරු ජීවිතය ගැන පැවසුවේ මේ ආකාරයෙන්.

“යුද්ධය පටන්ගත්ත ගමන්ම වගේ අපි සරණාගතයන් වුනා. ඒ කාලය අපි ගත කරපු ගොඩක්ම දුෂ්කර කාලය කියලයි මට හිතෙන්නේ.”

“යුද්ධය පටන්ගන්න කොට මට වයස 6යි. ඒත් ඒ මතකය තාමත් මගේ හිතේ තියෙන්නේ ගලක කෙටු වචන වගේ. ඒ ගැන මතක් කරන්නත්, ඒ ගැන කතා කරන්නත් මං කැමති නෑ.”

වෙඩි, බෝම්බ ප්‍රහාර මැද ලූකා තමන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය හදාරන්න පටන්ගන්නේ තමන්ගේ මාමා කෙනෙකු වන ටොමිස්ලව් බේසිච්ගෙන් ලැබුණ සහාය නිසා. ඔහුගේ සතුට දෙගුණ තෙගුණ වෙන්නේ තමාව ක්‍රීඩා ඇකඩමියකට ඇතුලත් කිරීමට ඔහුගේ මාමා කැමැත්ත පළකිරීමත් සමඟයි. බේසිච් විසින් ලූකාව සZඩාර් නගරයේ පැවති පුහුණු කඳවුරු හා පුහුණු තරග සඳහා තම වියදමෙන් රැගෙන ගියේ ලූකාගේ පියාට එය කිරීමට තරම් වත්කමක් නොමැති නිසාවෙනි. පසුව ලූකා තම මාමා ව “ක්‍රීඩාව කියා දුන් පියා” ලෙස හැඳින්වීමට පටන් ගත්තේ ඔහු තමන්ට කළ උපකාර වලට ගරු කිරීමක් ලෙසයි. ලූකාට තම පියා විසින් ලබා දුන් ප්‍රථම පා ආවරණය (Shin Guard) ගැන වරෙක ඔහු මෙසේ පැවසුවා.

“කඳවුරේ ඉන්න කාලේ අපිට ගොඩාක් සල්ලි ප්‍රශ්න තිබුණා. මට මතකයි තාත්තා මට අරන් දීපු පළවෙනි පා ආවරණය (SHIN GUARD). ඒකේ ලස්සනට බ්‍රසීල පිලේ ක්‍රීඩා කරපු රොනාල්ඩෝගේ පින්තූරයක් තිබුණා. මං ගොඩක්ම කැමති ඒකට.”

ඔහු හොඳින් පාපන්දු ක්‍රීඩා කෙරුවත් ඔහුට අවස්ථාවක් ලබා දීමට එරටේ ප්‍රධාන පෙළේ පාපන්දු සමාජයක් වූ “හජ්දුක් ස්ප්ලිටි” නම් පාපන්දු සමාජය ප්‍රතික්ෂේප කළා. ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කළ කරුණ වූයේ ලූකා තවමත් ළාබාල වීම හා කුලෑටි ගතියෙන් යුතු වීම බවයි.

ලූකා 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ( Image Courtesy – cdn2)

ලූකාට වයස අවුරුදු 16 වෙද්දී ඉතාලියේ පවත්වපු යොවුන් පාපන්දු තරගාවලියකට සහභාගී වීමට වරම් ලැබුණේ තමන්ගේ මාමා නිසයි. එයින් පසු දිගටම පාපන්දු ක්‍රීඩා කළ ලූකා මේ වන විට පැමිණ ඇති ගමන් මඟ ඉතා අගය කළ යුතුය.

“යුද්ධය මාවත් මගේ පවුලේ අයත් වළකට ඇද දැම්මත් එය මාව ශක්තිමත් කළා. සදහටම එය මාත් සමඟ තියෙනවට මං කැමති නෑ. ඒ වගේම මට ඒක අමතක කරන්න ඕනිත් නෑ.”

කෙතරම් බාධක දුක් කම්කටුලු පැමිණියත් තමන්ගේ සිහිනයන් හඹා යාම නොනවත්වපු ලූකාට පාපන්දු ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගත හැකි වේ දැයි අපට හෙට (15) දින වන විට දැක බල ගත හැක.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<