බොහෝ අය නොදන්නා සියවසේ විශිෂ්ටතම වොලිබෝල් ක්‍රීඩකයා – කාච් කිරාලි

240

ලොව පහල වූ විශිෂ්ටතම වොලිබෝල් ක්‍රීඩකයා කවුරුන් ද යන පැනයට පිළිතුරු වශයෙන් ඉදිරිපත් වන නම් කිහිපය අතරින් ඔහුගේ නම ඉදිරියෙන්ම කියැවෙනවා. ThePapare.com ඔබ වෙත ගෙන එන වොලිබෝල් පුරාවෘත ලිපි මාලාවේ දෙවැන්න වෙන් වන්නේ අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනය මඟින් “20 වන සියවසේ වොලිබෝල් ක්‍රීඩකයා” ලෙසින් නම් කෙරුණු කාච් කිරාලි  (Karch Kiraly) වෙනුවෙන්.

ඇමරිකානුවන් ඔවුන්ගේ විශිෂ්ටතම ක්‍රීඩකයන් ලැයිස්තුව නම් කරන විට බේබ් රුත්, මයිකල් ජෝඩන් වැනි විශිෂ්ටතමයන් ගේ නම් අතරට ඔහුගේ නමත් ඇතුලත් කරන්නට අමතක කරන්නේ නැහැ.

සම්පූර්ණ නම චාල්ස් ෆෙඩ්‍රික් කිරාලි  (Charles Frederick Kiraly) වන ඔහු ලොව පුරා වොලිබෝල් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් වී ඇත්තේ කාච් කිරාලි  යන නාමයෙන්. සහෝදර ක්‍රීඩකයන් ඔහුව හඳුන්වන්නේ Computer (පරිඝනකය ) යන සුරතල් නාමයෙන්. වොලිබෝල් ක්‍රීඩාව තුළදී ඔහුගේ උපක්‍රමශීලී බව නිසාම ඔහුගේ හිස පරිඝනකයක් ලෙසින් ක්‍රියා කරන නිසා එම නම යෙදූ බවයි එම ක්‍රීඩකයන් පවසන්නේ.
අන්වර්ථ නාමය – කාච් කිරාලි  (Karch Kiraly)
සුරතල් නාම – “Karch”, “The Computer”, “Thunderball in Volleyball”
උපත – 1960/11/03
උස – 1.88 m (අඩි 6 අඟල් 2)
බර – 93 kg
ක්‍රීඩා කරන ස්ථානය – පිටත ප්‍රහාරක (Outside Hitter)
ප්‍රහාරක අත – දකුණු අත
නියෝජනය කළ රට – ඇමරිකා එක්සත් ජනපදය
වෙනත් කණ්ඩායම් – US Indoor Olympic Volleyball Team, UCLA – University of California Los Angeles, Il Messaggero of Ravenna – Italy

අඩි හයයි අඟල් දහයයි – මැට් ඇන්ඩර්සන්

ලොව ප්‍රමුඛතම වොලිබෝල් ක්‍රීඩා සමාජවලින් වැඩිම ඉල්ලුමක් ලැබෙන ක්‍රීඩකයන් කිහිප දෙනා…

ඔහුගේ විශේෂත්වය

ගෘහස්ථ වොලිබෝල් සහ වෙරළ වොලිබෝල් යන ක්‍රීඩා දෙකෙන්ම ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ ලොව එකම ක්‍රීඩකයා කාච් කිරාලියි. 

කිරාලිගේ තවත් විශේෂත්වයක් වූයේ ඔහු සතු වූ මානසික ඒකාග්‍රතාවය යි. ලොව මානසික ඒකාග්‍රතාවය ඉහළින්ම රඳවා ගත් ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන්ම කියැවෙන නමක් වන කාච්ගේ වොලිබෝල් කුසලතා එක් අංශයකට පමණක් සීමා වුනේ නැහැ. 

ප්‍රතිවාදීන් උපක්‍රමශීලීව යොමුකරන පන්දු ගොඩ ගැනීමේ විශිෂ්ටයෙකු වූ කාච් කිරාලි ඒ සඳහා තමාට වෙරළ වොලිබෝල් ක්‍රීඩාවෙන් ලැබුණ පන්නරය ඉතා විශාල බවයි සඳහන් කරන්නේ.

වෙරළ වොලිබෝල් ක්‍රීඩා පිටිය තරමක් විශාල වුවත් එක් පිලකට ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයන් දෙදෙනෙකු පමණක් වන නිසා පිටිය පුරාවටම යොමු වෙන පන්දු ගොඩගැනීමට ඔවුන්ට සිදු වෙනවා. මේ නිසා පන්දු ගොඩගැනීමේ හැකියාව මෙන්ම පන්දුව එන දිශාව වඩාත් ඉක්මනින් නිර්ණය කර ගැනීම ඉතා වැදගත් වනවා.

කිරාලි සතු වූ විශේෂතම කුසලතාවය වශයෙන් විචාරකයන් පෙන්වා දෙන්නේ ප්‍රතිවාදී ක්‍රීඩකයෙක් ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රථමයෙන් එම ප්‍රහාරය එල්ල වන කෝණය හා ස්ථානය නිවැරදිව උපකල්පනය කිරීමට ඔහු සතු වූ සුවිශේෂී හැකියාවයි. මේ හේතුව නිසාම ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව වොලිබෝල් පුහුණුකරුවෙකු ලෙසින් ද සාර්ථක වන්නට කිරාලිට හැකි වුනා.

කුඩා කළ දිවිය

කාච් කිරාලිගේ පියා හංගේරියානු ජාතිකයෙක්. ඔහුගේ නම ලස්ලෝ කිරාලි . ලස්ලෝ තරුණ අවධියේ දී හංගේරියානු ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. 1956 වසරේ හංගේරියානු විප්ලවය අතරතුර දී ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයට සංක්‍රමණය වී තිබෙනවා.

කාච් වොලිබෝල් ක්‍රීඩාවට යොමු වී ඇත්තේ වයස අවුරුදු 6 දී. වයස අවුරුදු 11ක් පමණ වන විට ඔහු තම පියා හා එක්ව වෙරළ වොලිබෝල් තරගාවලි සඳහා එක් වී තිබෙනවා. 1978 වසරේ දී ඔහු වයස අවුරුදු 18ක තරුණයකු ලෙස සැන්ටා බාබරා උසස් පාසලේ වොලිබෝල් කණ්ඩායමට නායකත්වය දීමට සමත් වුනා. 

ආවරණ මගහැරීමේ කලාකරුවා – මැක්සිම් මිහයිලොව්

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දක්ෂතම ප්‍රහාරකයා සහ දක්ෂතම ලකුණු රැස් කරන්නා ඔහුය…

1978 වසරේ දී කිරාලිගේ නායකත්වයෙන් යුතුව සැන්ටා බාබරා උසස් පාසල අන්තර් පාසල් ලීග් ශූරතාවය ජයග්‍රහණය කළා. එහි දී ඔවුන් අපරාජිත ලෙසින් තරගාවලිය නිමා කරන්නට සමත් වුනා. තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් නම් කෙරුනේ කාච් කිරාලි . එම වසරේ දී ම ඔහුට ඇමරිකානු යොවුන් ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කිරීමටත් වරම් හිමි වුනා.

පුද්ගලික දිවිය

කිරාලි සිය බිරිඳ ජැනා සහ පුතුන් දෙදෙනා වන ක්‍රිස්ටියන් සහ කෝරි සමඟ කැලිෆෝනියාවේ සැන් ක්ලෙමන්ටේ හි වාසය කරනවා. ඔහුගේ පියා ලාස්ලෝ කිරාලි හංගේරියානු කනිෂ්ඨ ජාතික වොලිබෝල් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා. කිරාලි විද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව හැදෑරූ අතර පසු කාලීනව ඔහුගේ අදහස වූයේ වෛද්‍ය වෘත්තියක් හැදෑරීමයි.

එසේම සුපිරි වොලිබෝල් ක්‍රීඩිකා මිස්ටි මේ -ට්‍රේනර් යොවුන් වියේ සිටිය දී පුහුණුව ලැබූවේ කිරාලි යටතේ යි.

වෘත්තීය දිවිය

කිරාලි 1981 දී ජාතික කණ්ඩායමට එක්වුනා. පිටත ප්‍රහාරක ක්‍රීඩකයෙකු වූ ඔහු අතිශයින්ම වේගවත් ලෙස පහර එල්ල කිරීමට සමත් අයෙක්. ජාතික කණ්ඩායමේ සාමාජික ඇල්ඩිස් බර්සින්ස් සමඟ එක්වූ කිරාලි 1983 දී නිර්මාණය කරන ලද දෙදෙනෙකු එක්ව පිරිනැමීම පිළිගන්නා ක්‍රමය එනම් ඩග් බීල් (Doug beal) ක්‍රමය එකල ජාත්‍යන්තර කණ්ඩායම් අතර ඉතා ජනප්‍රිය වුනා.

එම වකවානුවේ දී තනිව පිටියෙන් අඩක් ආවරණය කිරීමට සමත් වූ කිරාලි බොහෝ අවස්ථාවල නිවැරදි ලෙස පන්දුව කණ්ඩායම් පන්දු සැකසුම් ක්‍රීඩක ඩස්ටි ඩ්වෝරාක් වෙත ලබා දීමත් නිසා එකල ලොව හොඳම පන්දු ගොඩගන්නන් අතර ඉහළ නමක් දිනා ගැනීමට සමත් වුනා. 

කිරාලි 1984 ගිම්හාන ඔලිම්පික් උළෙලේ රන් පදක්කම සඳහා එක්සත් ජනපද ජාතික කණ්ඩායම මෙහෙයවූ අතර අවසන් මහා තරගයේ දී බ්‍රසීලය පරාජය කිරීම සඳහා ඔහු විශාල දායකත්වයක් දැරුවා. එම රන් පදක්කම්ලාභී කණ්ඩායමේ ළාබාලම ක්‍රීඩකයා වුනේ කිරාලි.

සෝවියට් දේශය හා නැගෙනහිර ප්‍රදේශයට අයත් රටවල 1984 ඔලිම්පික් උළෙල වර්ජනය කිරීම නිසා එම තරගාවලිය එතරම් උණුසුම් එකක් වූයේ නැහැ. මේ නිසා ඇමරිකාව පහසුවෙන් ඔලිම්පික් රන් පදක්කම දිනා ගන්නට සමත් වුනා. නමුත් එක්සත් ජනපද ජාතික කණ්ඩායම 1985 FIVB ලෝක කුසලානය දිනා ගනිමින් ලොව හොඳම කණ්ඩායම ලෙස තම ස්ථානය පෙන්නුම් කළ අතරම 1986 FIVB ලෝක ශූරතාවලියත් ඔවුන් දිනා ගැනීමට සමත් වුනා.  

1988 ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී කිරායි ප්‍රමුඛ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම සිය දෙවන ඔලිම්පික් රන් පදක්කම දිනා ගත් අතර මෙවර අවසන් මහා තරගයේ දී ඔවුන් සෝවියට් සංගමය පරාජය කළා. එම තරගාවලියේ ඇමරිකානු කණ්ඩායමට නායකත්වය දුන්නේ කිරාලි විසින්. මෙසේ වසර ගණනාවක් පුරාවට දස්කම් දක්වන අතරේම අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනය විසින් 1986 සහ 1988 යන වසරවල ලොව විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස කිරාලිව නම් කිරීමට කටයුතු කළා.

1988 ඔලිම්පික් උළෙලින් පසුව කිරාලි ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම ගත්තා. ඔහු සහ ඇමරිකානු කණ්ඩායමේ ක්‍රීඩක ස්ටීව් ටිමන්ස් 1990 සිට 1992 දක්වා ඉතාලියේ ඉල් මෙසැගෙරෝ රවන්නා ක්‍රීඩා සමාජ  කණ්ඩායම වෙනුවෙන් වෘත්තීය වොලිබෝල් ක්‍රීඩාවේ නියැලුණ අතර ඔවුන්ගේ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් ලෙස එවක ලොව ඉහළ පෙළේ ක්‍රීඩකයන් වූ ඉතාලි ජාතික ෆේබියෝ වුලෝ සහ ඇන්ඩ්‍රියා ගාඩිනි, රොබර්ටෝ මැස්කියරෙලි සහ ස්ටෙෆානෝ මාගුටි ක්‍රීඩා කළා. 

ඔවුන් එම වසර දෙක තුළ ඉතාලි වොලිබෝල් ලීගය (1991), ඉතාලි කුසලානය (1991), FIVB වොලිබෝල් පිරිමි ක්‍රීඩා සමාජ ලෝක ශූරතාවය (1991), CEV චැම්පියන්ස් ලීග් ශූරතාවය (1992) සහ යුරෝපීය සුපර් කප් (1992) යන ශූරතා ජයග්‍රහණය කිරීමට සමත් වූහ.

පසු කාලීනව පුහුණුකරුවෙකු ලෙසනව වෘත්තීය දිවියක් ආරම්භ කිරීමට තීරණය කළ කිරාලි ශාන්ත මාග්‍රට් එපිස්කෝපල් උසස් පාසලේ පුහුණුවීම් ආරම්භ කළා. එහි දී ඔහුගේ පුතුන් වන ක්‍රිස්ටියන් සහ කෝරිගෙන් තම මුල්ම කණ්ඩායම ආරම්භ කිරීමට ඔහුට වාසනාව ලැබුණා.

ක්‍රමයෙන් අත්දැකීම් අතින් සම්පූර්ණ වෙත්ම එක්සත් ජනපද ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හියු මැකට්චියන් කිරාලිව ඔහුගේ සහකාර පුහුණුකරු ලෙස බඳවා ගත් අතර එහි දී ඔහු 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී රිදී පදක්කමක් ලබා ගැනීමට කණ්ඩායමේ පුහුණුකරුට උදව් කළා.

උස පහරේ අකුණු සැරය – වොලස්

ලොව දක්ෂතම ප්‍රතිවිරුද්ධ ප්‍රහාරකයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ ඔහුය. එසේම ඔහුගේ…

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර පැවැත්වීමට නියමිතව තිබූ 2016 ඔලිම්පික් උළෙලට සහභාගී වීමට සූදානම් වීම සඳහා 2012 දී එක්සත් ජනපද ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කිරාලිව නම් කළා. 

2014 ඔක්තෝබර් මාසයේ දී කිරාලි එක්සත් ජනපද කාන්තා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් FIVB ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී චීනය පරාජය කර  රන් පදක්කම් ජයග්‍රහණ කරන්නට සමත් වුනා. එසේ කිරීමෙන් කිරාලි ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස ලෝක ශූරතාවලියේ රන් පදක්කමක් දිනා ගත් සිව්වැනි පුද්ගලයා බවට පත් වුනා.

2016 රියෝ ද ජැනෙයිරෝ නුවර පැවති ඔලිම්පික් උළෙලේ දී කිරාලිගේ පුහුණුකාරීත්වයෙන් යුත් එක්සත් ජනපද කාන්තා ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළ අතර ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු ලෙස ඔලිම්පික් පදක්කමක් දිනා ගත් ලොව සිව්වැන්නා බවට පත්වන්නටත් කිරාලිට හැකියාව ලැබුණා

සුවිශේෂී ජයග්‍රහණ

කණ්ඩායම් ජයග්‍රහණ

  • 1984 ඔලිම්පික් උළෙලලොස් ඇන්ජලීස් රන් පදක්කම
  • 1986 ලෝක ශූරතාවය ප්‍රංශයරන් පදක්කම
  • 1986 GoodWill ක්‍රීඩා උළෙල මොස්කව්රිදී පදක්කම
  • 1988 ඔලිම්පික් උළෙල සියොල්රන් පදක්කම
  • 1996 ඔලිම්පික් උළෙල (වෙරළ වොලිබෝල්) – ඇට්ලන්ටාරන් පදක්කම

තනි ජයග්‍රහණ

  • All American සම්මානය (1979, 1980, 1981, 1982 වසරවල්)
  • NCAA Volleyball Tournament Most Outstanding Player (1981, 1982)
  • UCLA Hall of Fame (1992 වසරේදී ඇතුලත් කරන ලදී)
  • FIVB වසරේ ක්‍රීඩකයා සම්මානය (1986, 1988)
  • FIVB 20 වැනි සියවසේ හොඳම ක්‍රීඩකයා සම්මානය
  • American Volleyball Professionals (AVP Professional Beach Volleybal)  හොඳම ආක්‍රමශීලී ක්‍රීඩකයා (1990, 1993, 1994)
  • AVP හොඳම ආරක්ෂක ක්‍රීඩකයා (2002)
  • AVP හොඳම නැවත පැමිණි ක්‍රීඩකයා (1997)
  • AVP වටිනාම ක්‍රීඩකයා (1990, 1992, 1993, 1994, 1995, 1998)
  • AVP වසරේ ක්‍රීඩකයා (1995, 1997, 1998)
  • AVP අනර්ඝ ක්‍රීඩකයා විශේෂ සම්මානය (2004)
  • Volleyball Hall of Fame – 2001 දී ඇතුලත් කරන ලදී.

Image credits: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<