කෝලිට සම්මාන රැසක්

199

ඉන්දීය නායක විරාට් කෝලී 2017 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙන ගාර්ෆීල්ඩ් සෝබර්ස් කුසලානය (වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා)  හිමිකර ගැනීමට සමත් විය.  එමෙන්ම වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගැනීමට ඔහු සමත් විය.

එසේම වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා හිමි වූ සම්මානය දිනාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් නායක ස්ටීව් ස්මිත් විසිනි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2016 වර්ෂයේ සැප්තැම්බර් මස සිට 2017 වර්ෂයේ සැප්තැම්බර් දක්වා ඒ ඒ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් පදනම් කරගෙන මෙම සම්මාන ලබා දීම සිදු කර ඇත.

කලබල විය යුතු නැති බවට මැතිව්ස්ගෙන් සහතිකයක්

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සඳහා මුහුණ දීමට පෙර, පිතිකරුවන් ලබා ගන්නා සාර්ථක ආරම්භය විශාල ලකුණු…..

එහි දී කෝලී විසින් ටෙස්ට් ලකුණු 2203ක් ලබාගෙන ඇත්තේ 77.80ක ඉහළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. ඒ අතරට ශතක 8ක් ඇතුළත්ය. එසේම එම කාල වකවානුව තුළ ඔහු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටිය තුළ ලකුණු 1818ක් රැස්කර ගැනීමට සමත්ව ඇත. එහි දී ඔහු විසින් ශතක 7ක් වාර්තා කරගෙන ඇති අතර ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 82.63ක් වැනි සුපිරි අගයක පවතියි. එසේම ටෙස්ට් හා එක්දින පිටියේ පමණක් නොව විස්සයි විස්ස පිටියේ දී ද ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 153කට ආසන්න අගයක පවත්වා ගෙන ලකුණු 299ක් රැස්කර ගැනීමට සමත්ව ඇත.

“මෙය පසුගිය වර්ෂයේ දී ඈශ් (රවිචනද්‍රන් අශ්වින්) විසින් දිනා ගත්තා. මෙවර මට මෙය දිනා ගැනීමට හැකි වුනා. මෙය ඇත්තටම මට ලොකු අභිමානයක්. මෙය ජයග්‍රහණය කිරීමට මා විශාල කැපවීමක් සිදු කළා. මම මේ අවස්ථාවේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත මාගේ හදපිරි ස්තුතිය පුදකර සිටිනවා. එසේම මෙවර ජයග්‍රහණ ලබාගත් අනෙකුත් ක්‍රීඩකයින් හටත් මම මාගේ සුබ පැතුම් එක් කිරීමට කැමතියි.” යැයි කෝලී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

ස්ටීව් ස්මිත් 2016 වසරේ සැප්තැම්බර් මස සිට 2017 වර්ෂයේ සැප්තැම්බර් දක්වා කාලය තුළ ටෙස්ට් තරග 16ක් තුළ ලකුණු 1875ක් ලබාගෙන ඇති අතර එහි දී ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 78.12කි. ඒ අතරට ශතක 8ක් හා අර්ධ ශතක 5ක් ඇතුළත්ය.

“වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය මා හට දිනා ගැනීමට හැකියාව ලැබුණා. එය මට විශාල සතුටක්. පසුගිය වර්ෂයේ මා හට පෞද්ගලිකව ඉතාමත් වැදගත් වසරක් මෙම සම්මානය ඒ වැදගත් බව දෙගුණ තෙගුණ කළා.” යැයි ස්මිත් ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද ජයග්‍රාහී නාමලේඛනය තුළ වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස පාකිස්තානු වේගපන්දු යවන හසන් අලී නම් කර ඇත. හසන් නිමා වූ ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 19ක් තුළ කඩුලු 3ක් දවා ගනිමින් සිය රටට එම කුසලානය දිනා ගැනීමට විශාල කැපවීමක් දරන ලදි.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් විනිසුරුවරයෙකු වන මැරෙයිස් එරාස්මස් වසරේ විනිසුරුවරයා ලෙස තේරී ඇති අතර ඔහු ඉහත දැක්වූ කාල පරාසය තුළ ටෙස්ට් තරග 47කට, විස්සයි විස්ස තරග 26කට හා එක්දින තරග 74කට හා සිය සේවය ලබා දී ඇත. එම එක්දින තරග අතරට ශූරයන්ගේ කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගයත් ඇතුළත්ය.

වසරේ හොඳම විස්සයි විස්ස දක්ෂතාවයට හිමිකම් කියන ලද ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ යුස්වේන්ද්‍ර චහාල් සමත්ව ඇත. ඒ සඳහා ඔහු දක්වා ඇති දක්ෂතාවය වන්නේ ලකුණු 25ක් තුළ කඩුලු 6ක් දවා ගැනීමයි.

එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ මෙම සම්මාන හිමි නාමලේඛනයට එකදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් හෝ ඇතුළත් නොවීම සුවිශේෂී වේ.

2017 වසරේ ටෙස්ට් කණ්ඩායම – ඩීන් එල්ගාර්, ඩේවිඩ් වෝනර්, විරාට් කෝලී (නායක), ස්ටීව් ස්මිත්, චේතේශ්වර් පුජාරා, බෙන් ස්ටොක්ස්, ක්වින්ටන් ඩී කොක් (කඩුලු රකින්නා), රවිචනද්‍රන් අශ්වින්, මිචෙල් ස්ටාර්ක්, කැගිසෝ රබාඩා, ජේම්ස් ඇන්ඩර්සන්.

2017 වසරේ එක්දින කණ්ඩායම – ඩේවිඩ් වෝනර්, රෝහිත් ශර්මා, විරාට් කෝලී (නායක), බාබර් අසාම්, ඒ.බී. ඩිවිලියර්ස්,  බෙන් ස්ටොක්ස්, ක්වින්ටන් ඩී කොක් (කඩුලු රකින්නා), ට්‍රෙන්ට් බෝල්ට්, ජාස්ප්‍රිට් බුම්රා, හසන් අලී, රාශිඩ් කාන්.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<