මාටින් ගප්ටිල් ඇඟිලි දෙකෙන් පුහුණුකරුවාට කළ සංඥාව

ලෝක කුසලානයේ නෑසූ කතා (22)

1592
Sports Kreeda

2015 ලෝක කුසලානයේ නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගයේ දී නවසීලන්ත ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් අගනා ද්විත්ව ශතකයක් ලබා ගත්තේය. වෙලිංටන් නුවර වෙස්ට්පැක් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ඇන්ඩ්‍රේ රසල් යැවූ පනස්වැනි පන්දුවාරයේ පන්දුවකට දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමෙන් අනතුරුව ගප්ටිල් තම අතේ ඇඟිලි දෙකකින් විවේකාගාරයට යම් සංඥාවක් කළේය. 

බොහෝ දෙනාට ගප්ටිල් කළ සංඥාව කුමක්දැයි වැටහුණේ නැත. ක්‍රීඩාලෝලීන් සිතුවේ ගප්ටිල් සංඥා කළේ කුඩා කාලයේ ආබාධයකට ලක්ව අහිමි කර ගත් ඔහුගේ වම් පාදයේ ඇඟිලි දෙක පිළිබඳ බවයි.

ගප්ටිල් මෙලෙස ඇඟිලි දෙකක් යොදාගනිමින් සංඥා කළේ නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ක්‍රේග් මැක්මිලන්ටය. ගප්ටිල් ඉකුත් පන්දුවේ දී එල්ල කළ හයේ පහර නැවතී තිබුණේ වෙස්ට්පැක් ක්‍රීඩාංගණයේ වහල මතය. මේ ආකාරයෙන් වෙස්ට් පැක් ක්‍රීඩාංගණයේ වහලට හයේ පහරක් එල්ල කළ දෙවැනි  ක්‍රීඩකයා වූයේ ගප්ටිල්ය. එය මතකයට නැගීමට ගප්ටිල් මෙලෙස මැක්මිලන් දෙස බලා සංඥාවක් කළ බව කියවේ.

කේක් තැටිය යනුවෙන් හැඳින්වෙන වෙස්ට්පැක් ක්‍රීඩාංගණය එතරම් විශාල එකක් නොවේ. නමුත් ගප්ටිල් එල්ල කළ හයේ පහර මීටර් 110ක් දුරට ගිය බව පසුව ගණනය කෙරුණි.

කාසියේ වාසිය අවාසියට හැරුණු හැටි

දිනය 2003 මාර්තු 23 වෙනිදාය. ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසියේ….

ලෝක  කුසලානයට ගිය මැනේජර් තාත්තා

සිම්බාබ්වේ දේශය වෙනුවෙන් ටෙස්ට් තරගයක දී මුල්ම පන්දුවට මුහුණ දුන්නේ කෙවින් ආර්නොට්ය. ඔහු 1987 ලෝක කුසලානයට මෙන්ම 1992 ලෝක කුසලානයටත් සිම්බාබ්වේ දේශය නියෝජනය කළේය. තම ජාත්‍යන්තර තරග දිවියේ ටෙස්ට් තරග හතරකට සහ එක්දින තරග දහතුනකට ක්‍රීඩා කළ ආර්නොට් සතුව යම් ලෝක කුසලාන වාර්තාවක් තිබේ. සත්‍ය වශයෙන්ම ජාත්‍යන්තර කණ්ඩායමක එවැන්නක් සිදු වූ පළමු අවස්ථාව ද එය විය හැක. 

1987 ලෝක කුසලානයට කෙවින් ආර්නොට් ක්‍රීඩා කරන විට සිම්බාබ්වේ කණ්ඩායමේ කළමනාකාරවරයා වූයේ කෙවින්ගේ පියා ඩොන් ආර්නොට්ය. ඩොන් රොඩේෂියාවේ දී ක්‍රිකට් ක්‍රීඩාව ගැන අත්දැකීම් ඇත්තෙකි.

ලෝක කුසලාන ඉතිහාසයේ පුත්‍රයා කණ්ඩායමේ ක්‍රීඩා කරද්දී පියා කණ්ඩායම් කළමනාකාරවරයා ලෙස කටයුතු කළ ප්‍රථම අවස්ථාව මෙය විය. 

මේ හැරුණු විට සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ මුල්ම ස්ථානය හිමිවන්නේත් කෙවින් ආර්නොට්ය.

කෙවින් ආර්නොට් සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගයේ දී පන්දු 176ක් තුළ ලකුණු 40ක් ලබා ගත්තේය. තාක්ෂණානුකූල පිතිකරුවෙකු ලෙස සැලකුණ කෙවින් ආර්නොට් එක්දින තරඟ කිහිපයක දී ද අතිශය මන්දගාමී ඉනිම් කිහිපයක් ක්‍රීඩා කළේය. පාකිස්තානය සමඟ 1992 ලෝක කුසලාන තරගයක දී ආර්නොට් පන්දු 61ක් තුළ රැස් කළේ ලකුණු 7ක් පමණි. කෙවින් ආර්නොට් විශිෂ්ට ලෙස කවර් කලාපය ආවරණය කළ පන්දු රකින්නෙකු ලෙස ද සැළකුණි.

සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කළ එක්දින තරග තුළ විශේෂ යමක් කළ නොහැකිවුවද ටෙස්ට් තරගයක දී ශතකයක් ලබාගෙන තිබේ. බුලෝවායෝ හිදී නවසීලන්තයට එරෙහිව රැස් කර ගත් මෙම ශතකය නිසා තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගන්නට සිම්බාබ්වේ කණ්ඩායමට හැකි විය. එය සිම්බාබ්වේ ක්‍රීඩකයෙකු ටෙස්ට් තරගයක රැස් කර ගත් දෙවැනි ශතකය වේ.

කඩුලු රකින්න මාව ගන්නවා ද?

වික්‍රම් රතෝර් නම් ඉන්දීය පිතිකරුවා ටෙස්ට් තරග හයක දී සහ එක්දින තරග හතක දී ඉන්දියාව නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඉන්දීය දේශීය තරගමාලාවල ඉහළින් දස්කම් දැක්වුවත් ඔහුට එම දක්ෂතා ජාත්‍යන්තර පිටියේ දී පෙන්වන්නට හැකියාවක් ලැබුණේ නැත. 

2003 ලෝක කුසලානයට යන එක්දින කණ්ඩායමේ ස්ථාවර නොවූ හිඩැසකට තිබුණේ කඩුලු රකින්නාගේ තැනය. තමන්ට ලෝක කුසලාන සංචිතයේ තැනක් දිනා ගැනීමට හැකි නම් ඒ කඩුලු රකින්නාගේ තැන බව එවකට ඉන්දීය කණ්ඩායමෙන් ඉවත සිටි වික්‍රම් රතෝර් තේරුම් ගත්තේය. ඔහු දේශීය තරගවල දී කඩුලු රකින්නා ලෙස කටයුතු කිරීමට පටන්ගත්තේ තමාට නැවත ඉන්දීය කණ්ඩායමට එක්වීමට අවස්ථාවක් සලසා ගැනීමටය. 

නමුත් ඉන්දීය නායක සව්රව් ගංගුලිගේ කැමැත්තක් තිබුණේ පාර්තිව් පටෙල් කඩුලු රකින්නා ලෙස දකුණු අප්‍රිකාවට රැගෙන යන්නය. නමුත් සැලසුම් සියල්ල වෙනස් කරමින් රාහුල් ඩ්‍රාවිඩ් කඩුලු රකින්නා ලෙස යොදාගැනීමට අවසානයේ තීරණය විය. මෙම තීරණය රතෝර්ගේ උත්සාහය අපතේ යැවීමක් විය. 2003 ලෝක කුසලානය අතර සමයේම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට රතෝර් තීරණය කළේ තමාගේ සේවය තවදුරටත් ඉන්දීය කණ්ඩායමට අවශ්‍ය නැති බව තේරුම් ගත් බැවිනි.

පන්ජාබයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ රතෝර් ඉන්දීය දේශීය තරඟමාලාවල ලකුණු 10,000 වඩා රැස් කර ඇති පිතිකරුවෙකි. රාහුල් ඩ්‍රාවිඩ්, සව්රව් ගංගුලි වැනුන් සමඟ එකම තරගාවලියක ටෙස්ට් වරම් දිනා ගත්ත ද ජාත්‍යන්තර මට්ටමේ සාර්ථක වන්නට සුදුසු පිතිකරණ තාක්ෂණයක් රතෝර්ට තිබුණේ නැත.

වොරන් ලීස්ගේ අවසන් පූර්ව තරග අපලය

1979 පෘඩෙන්ෂල් ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසාන පූර්ව තරගය නවසීලන්ත කණ්ඩායම සත්කාරක එංගලන්තය හමුවේ පරාජය වූයේ තියුණු ලකුණු නමයක පරතරයකිනි. 

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් දැඩි සටනක නිරත වූ ඔවුන්ගේ කඩුලු රකින ක්‍රීඩක වොරන් ලීස් ඉනිමේ අග භාගයේ දී පන්දු 20කින් ලකුණු 23ක් රැස් කළ ද එය ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රමාණවත් වූයේ නැත. අඩු ලකුණු සංඛ්‍යාවක් හඹායෑමට තිබූ මේ තරගයේ ජයග්‍රහණය නවසීලන්තයට අහිමි වූයේ පෙනි පෙනීය.

නැවත වතාවක් නවසීලන්තය ලෝක කුසලානයක අර්ධ අවසාන පූර්ව තරගයක් ඉතාම කිට්ටු පරතරයකින් පරාජය වන්නේ 1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානයේ දී ය. එම තරගයේ අවසාන පන්දුවාරයේ දී පාකිස්තානුවන් අතින් නොසිතූ පරාජයකට ලක්වන්නට නවසීලන්ත කණ්ඩායමට සිදු විය. ඒ වන විට නවසීලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කළේ අවුරුදු දහතුනකට පෙර නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන යෑමට විශාල සටනක් දුන් වොරන් ලීස්මය.

වොරන් ලීස් සමඟ නවසීලන්ත නායක මාටින් ක්‍රෝ 1992 ලෝක කුසලානයේ දී භාවිතා කළ ඇතැම් නව උපක්‍රම ඉතාමත්ම සාර්ථක විය.

වොරන් ලීස්ට 1992 වසරේ දෙසැම්බර් මාසයේ දී සිය නවසීලන්ත පුහුණුකාර ධූරය අහිමි විය. 

1992 වසරේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ නවසීලන්ත කණ්ඩායම නවාතැන් ගත් හෝටලය ඉදිරිපිට ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලදි. මේ හේතුව නිසා වොරන් ලීස් ඇතුළු ක්‍රීඩකයින් පස් දෙනෙකු ආරක්ෂාව පතා නැවත නවසීලන්තය බලා පිටත්වූහ. මේ සිදුවීමෙන් පසුව ලීස් තනතුරින් නෙරපන්නට නවසීලන්ත බලධාරීන් කටයුතු කළේය.

තවත් නෑසූ කතාවක් සමඟ හමුවෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<