ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන වයස අවුරුදු 23 න් පහල අන්තර් සමාජ පළමු කාණ්ඩයේ එක්දින ක්‍රිකට් තරගාවලිය, ජූලි මස 4 වන සඳුදා ආරම්භ වීමට කටයුතු සූදානම් කර අැත. ජාතික කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමේ අරමුණ ඇතිව කණ්ඩායම් 23ක් දින 20ක්  පුරා තරග වදිනු ඇත.

ජුලි 4 වැනිදා රාගම ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ආරම්භ වන මෙවර තරගාවලියේ අවසන් තරගය ජූලි 24 වන ඉරිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව අැත.

මින්පෙර 23 න් පහල තරගාවලිය, කණ්ඩායම් 14ක සහභාගීත්වයෙන් තුන් දින ක්‍රිකට් තරගාවලියක් ලෙස පැවැත්  වු අතර මෙවර වැඩි කණ්ඩායම් ගණනක් සහභාගී වන හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සීමිත ඕවර තරගාවලියක් ලෙස එහි කාලය අඩු කිරීමට කටයුතු කර අැත.

කෙසේ වෙතත් මෙවර 23 න් පහල පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ ප්‍රමිතිය පිලිබඳ ඇත්තේ යම් අවිනිශ්චිත තත්ත්වයක්. විශේෂයෙන්ම පිතිකරුවන් සීමිත ඕවර තරග වලදී නිසි තාක්ෂණයෙන් බැහැර වීම ඊට ප්‍රධාන හේතුවයි. එමෙන්ම බොහෝ ක්‍රීඩා සමාජ පෙන්වාදෙන පරිදි මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයන්ට තරග ගාස්තු නොගෙවීමත් තරගාවලියේ ප්‍රමිතිය පිලිබඳ ගැටළු මතු කිරීමට සමත් වෙයි.

මෙවර පළමු කාණ්ඩයේ තරගාවලියට එක්වන කණ්ඩායම් 23, කාණ්ඩ 4ක් යටතේ තරග වදින අතර, අද (ජූලි 02) ආරම්භ වන දෙවන කාණ්ඩයේ තරගාවලියේදී කණ්ඩායම් 45ක් කාණ්ඩ 8ක් යටතේ තරග වදිනු ඇත.

පළමු වටයේ සියලු තරග ලීග් ක්‍රමයට පැවැත්වෙයි. එහිදී සියලු කාණ්ඩ වලින් පෙරමුණ ගන්නා කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. එක්දින තරගාවලිය අවසන් වී සති 2ක් ඇතුලත 20-20 තරගාවලියක් ද පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී තිබේ.

තරග කාලසටහන් සඳහා පිවිසෙන්න

පළමු කාණ්ඩයේ තරගාවලියට එක්වන කණ්ඩායම් මෙසේයි.

කණ්ඩායම කණ්ඩායම කණ්ඩායම කණ්ඩායම
ටැමිල් යුනියන් ක්‍රී.ස. මුවර්ස් ක්‍රී.ස. රාගම ක්‍රී.ස. ගාල්ල ක්‍රී.ස.
එන්.සී.සී. සී.සී.සී. කෝල්ට්ස් ක්‍රී.ස. එස්.එස්.සී.
මීගමුව ක්‍රී.ස. සැරසන්ස් ක්‍රී.ස. යුද හමුදා ක්‍රී.ස. හලාවත මේරියන්ස් ක්‍රී.ස.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රී.ස. බී.ආර්.සී. වරාය අධිකාරි ක්‍රී.ස. බදුරලිය ක්‍රී.ස.
නාවික හමුදා ක්‍රී.ස. ගුවන් හමුදා ක්‍රී.ස. කුරුණෑගල තරුණ ක්‍රී.ස. කළුතර නාගරික ක්‍රී.ස.

 

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට