රාජකීයයන් හමුවේ සහිරා විද්‍යාලයට පහසු ජයක්

577

මරදාන සහිරා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර අද (12) මරදාන සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී ගෝල 5-0 ක පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සහිරා විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

වයස අවුරුදු 18න් පහළ අන්තර් පාසල් පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලිය යටතේ පැවති මෙම තරගයේ පටන් ගැන්මේ සිටම ප්‍රතිවාදී රාජකීය විද්‍යාලයීය කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් ක්‍රීඩා කරන්නට සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය.

සහිරා සහ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලවලට ජයග්‍රහණ

අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු තරගාවලිය යටතේ ඊයේ (11) පැවති තරගවල දී මරදාන සහිරා විද්‍යාලය ගෝල 4-1ක් ලෙස බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයත්, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය…

ඒ අනුව පන්දුව වැඩි වේලාවක් රඳවා ගනිමින් ප්‍රතිවාදී අන්තය වෙත පන්දුව රැගෙන යමින් ගෝල ලබා ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කර ගැනීමට සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය. දඬුවම් පහර කලාපය ආසන්නයේ නිදහස් පහර අවස්ථාවන් කිහිපයක්ම දිනා ගැනීමට සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් වූ නමුත් ඒවා ගෝල බවට පරිවර්තනය කර ගන්නට ඔවුන් අපොහොසත් විය.

අනෙක් පසින් කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින් සහිරා විද්‍යාලයීය කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය හමුවේ ඉතා ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශයක් අනුගමනය කළේය. සහිරා ක්‍රීඩකයින් පන්දුව වැඩි වේලාවක් ඔවුන් සතුව රඳවා ගනිමින් ක්‍රීඩා කළත් ඔවුන් ගෝල ලබා ගැනීමට සිදු කළ උත්සාහයන් සියල්ලම ව්‍යර්ථ කර දමන්නට රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් වූ අතර ඒ අතරතුර සහිරා ක්‍රීඩකයින් අතින් පන්දු හුවමාරු කර ගැනීමේ දී  සිදුවන වැරදිවලින් ප්‍රයෝජන ගනිමින් ඉක්මන් අවස්ථාවක් හරහා ගෝලයක් රැස්කර ගන්නට රාජකීයයන් උත්සාහ දැරීය. ඒ අනුව රාජකීය ක්‍රීඩකයින් හට ද ගෝල ලබා ගැනීමට අවස්ථාවන් කිහිපයක් ලැබුණත් ඔවුන් ද ඒවා සාර්ථක කර ගැනීමට අපොහොසත් විය.

කෙසේ නමුත් දැඩි වේලාවක් තරගය තුළ පැවති ගෝල නිහැඬියාව බිඳ දමමින් සහිරා විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් තරගයේ පළමු අර්ධය නිමා වන්නට මිනිත්තු දෙකක කාලයක් ඉතිරිව තිබිය දී ගෝලයක් වාර්තා කර ගන්නට මුෂ්ෆීර් සමත් විය. එහි දී මොහොමඩ් රෂීඩ් විසින් ලබාගත් පැති පහර අවස්ථාවට මොහොමඩ් මුෂ්ෆීර් විසින් හිසින් පහරක් එල්ල කරමින් එම ගෝලය වාර්තා විය. ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසන් වූයේ සහිරා විද්‍යාලයීය කණ්ඩායම ගෝල 1-0 ක් වශයෙන් තරගයේ පෙරමුණ ගනිමිනි.

පළමු අර්ධය: සහිරා විද්‍යාලය 1 – 0 රාජකීය විද්‍යාලය   

පළමු අර්ධයේ දී පවත්වාගත් ප්‍රබල ක්‍රීඩා විලාශය දෙවන අර්ධයට ද ඒ අයුරින්ම රැගෙන ගිය සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් දෙවන අර්ධය ආරම්භයේ දී පිට පිට තවත් ගෝල 3ක් ඔවුන්ගේ ලකුණු පුවරුවට එක්කර ගන්නට සමත් විය.

ඒ අනුව තරගයේ 45 වෙනි මිනිත්තුවේ දී හිමාෂ් විසින් ලබා දුන් පන්දුවට හිසින් පහරක් එල්ල කරමින් තම කණ්ඩායමේ දෙවන ගෝලය වාර්තා කර ගන්නට අක්තාර් සමත් විය. ඉන් අනතුරුව මිනිත්තු දෙකක කාලයක් තුළ පැති පහර අවස්ථාවක් ලබා ගන්නට සහිරා ක්‍රීඩකයින් සමත් වූ අතර එම අවස්ථාව ලබාගත් මොහොමඩ් රෂීඩ් ලබා දුන් පන්දුවට හිසින් පහරක් එල්ල කරමින් හිමාෂ් විසින් තම කණ්ඩායමේ 3 වන ගෝලය වර්තා කර ගන්නා ලදි.

පසුව රාජකීය විද්‍යාලයීය කණ්ඩායමේ මොහොමඩ් අම්මාර් විසින් දඬුවම් පහර කලාපය තුළ සිදු කරනු ලැබූ නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් සහිරා විද්‍යාලයට දඬුවම් පහර අවස්ථාවක් පිරිනමන ලදි. එම අවස්ථාව සාර්ථකව ලබාගත් සහිරා විද්‍යාලයීය කණ්ඩායමේ නායක මොහොමඩ් මුර්ෂිඩ් තරගයේ 48 වෙනි මිනිත්තුවේ දී තම කණ්ඩායමට සිව්වන ගෝලය හිමි කර දෙන්නට සමත් විය.

ඉන් අනතුරුවත් පන්දුව රාජකීය විද්‍යාලයේ දඬුවම් පහර කලාපය වෙත රැගෙන යමින් තවත් ගෝලයක් වාර්තා කර ගන්නට සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් උත්සාහ දැරූ අතර තරගයේ 59 වෙනි මිනිත්තුවේ දී එම උත්සාහය සාර්ථක විය. ඒ අනුව මොහොමඩ් මුෂ්ෆීර් විසින් සිය දෙවැනි ගෝලය වාර්තා කර ගනිමින් සහිරා විද්‍යාලයට තරගයේ 5 වෙනි ගෝලය හිමිකර දෙන්නට සමත් විය.

පසුව තරගයේ 61 වෙනි මිනිත්තුවේ දී සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් තවත් ගෝලයක් වාර්තා කර ගැනීමට සමත් වුවත් එහි දී ‘Offside’ නීතිය උල්ලංඝනය වූ බවට විනිසුරුවරයා සංඥා කිරීම නිසා එම ගෝලය පිරිනැමුණේ නැත.

තරගය පුරාවට රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කර ගැනීමට හොඳ අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට අපොහොසත් වූ අතර එයට ඔවුන් පන්දු හුවමාරු කර ගැනීමේ දී ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩා විලාශය හේතු විය. අනෙක් පසින් සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින්ගේ පන්දු හුවමාරු කර ගැනීම තරගයේ දෙවන අර්ධයේ දී ඉතා ඉහළ තත්වයක පැවතුණි.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ දී ද ගෝලයක් වාර්තා කර ගන්නට සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් හට අවස්ථාවන් කිහිපයක්ම ලැබුණත් ඒවා ගෝල බවට පරිවර්තනය කර ගන්නට ඔවුන් අපොහොසත් විය.

ඒ අනුව තරගය නිමාවට පත්වූයේ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම හමුවේ සහිරා විද්‍යාලය ගෝල 5-0 ක පහසු ජයග්‍රහණයක් හිමි කර ගනිමිනි.

සම්පූර්ණ කාලය: සහිරා විද්‍යාලය 5 – 0 රාජකීය විද්‍යාලය   

ThePapare.com තරගයේ වීරයා – මොහොමඩ් රෂීඩ්

ගෝල ලාභීන්

  • සහිරා විද්‍යාලය – මොහොමඩ් මුෂ්ෆීර් 38’ සහ 59’, මොහොමඩ් අක්තාර් 45’, එම්. ඒ. හිමාෂ් 47’, මොහොමඩ් මුර්ෂිඩ් 48’

කහ කාඩ්පත්

  • සහිරා විද්‍යාලය – ෆර්හාන් ජිෆ්රි 24’
  • රාජකීය විද්‍යාලය – මොහොමඩ් සජීද් 04’, මොහොමඩ් අම්මාර් 47’, මොහොමඩ් ඉර්ෆාන් 63

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට