සාන්ත ජෝසප්, සහිරා, සාන්ත පැට්‍රික් සහ සාන්ත පීතර අවසන් පූර්ව වටයට

250
U18 division I

වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (24) මොරගස්මුල්ල ජානක රණවක ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය.

ශූරයින්ගේ කුසලානය අඛණ්ඩව තුන්වන වරටත් කොළඹට

2017 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම..

පළමු අර්ධ අවසන් පූර්ව තරගය: සාන්ත ජෝසප් විද්‍යාලය – සිරිකුරුස විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගයේ ආරම්භයේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වූ අතර අනෙක් පසින් සිරිකුරුස විද්‍යාලයීය ක්‍රීඩකයින් ඔවුන් ගෝල ලබා ගැනීමට ගත් උත්සාහයන් සියල්ලම ව්‍යර්ථ කර දමන්නට සමත් විය. කෙසේ නමුත් තරගයේ 18 වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායමේ පී. සී. රශ්මිත තරගයේ පළමු ගෝලය වාර්තා කර ගනිමින් සිය කණ්ඩායම තරගයේ ඉදිරියට රැගෙන එන්නට සමත් විය. පළමු අර්ධයේ ඉතිරි කාලය තුළ කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුණත් ඒවා සාර්ථක කරගන්නට ඔවුන් අසමත් විය.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 01 – 00 සිරිකුරුස විද්‍යාලය

තරගයේ දෙවන අර්ධයේ පාලනය මුළුමනින්ම තමන් යටතට ගන්නට සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් වූ අතර ඔවුන්ගේ දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය හමුවේ සිරිකුරුස විද්‍යාලයීය ක්‍රීඩකයින් හට දැඩි තර්ජනයක් එල්ල විය. ඒ අනුව එම අර්ධය තුළ ඔවුන් තවත් ගෝල 3ක් රැස්කරගත් අතර එස්. එස්. පින්ගෝ, එන්. එස්. කුරේ සහ ජේ. එන්. ප්‍රනාන්දු විසින් එම ගෝල වාර්තා කර ගනු ලැබීය.

සම්පූර්ණ කාලය: සාන්ත ජෝසප් විද්‍යාලය 04 – 00 සිරිකුරුස විද්‍යාලය

ගෝල ලාභීන්

සාන්ත ජෝසප් විද්‍යාලය – පී. සී. රශ්මිත 18’, එස්. එස්. පින්ගෝ 57’, එන්. එස්. කුරේ 71’ සහ ජේ. එන්. ප්‍රනාන්දු 76’

කහ කාඩ්පත්

සාන්ත ජෝසප් විද්‍යාලය – එස්. එස්. පින්ගෝ

දෙවන අර්ධ අවසන් පූර්ව තරගය: සහිරා විද්‍යාලය – කිංස්වුඩ් විද්‍යාලය

තරගය ආරම්භයේ පටන් කිංස්වුඩ් ක්‍රීඩකයින් හට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට ප්‍රබල සහිරා විද්‍යාලයීය කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන්ගේ කණ්ඩායමේ එන්. එස්. හමාද් තරගයේ 22 වන මිනිත්තුවේ දී ද, එච්. රාසා තරගයේ 28 වන මිනිත්තුවේ දී ද ගෝල වාර්තා කරගන්නට සමත් විය.

පළමු අර්ධය: සහිරා විද්‍යාලය 02 – 00 කිංස්වුඩ් විද්‍යාලය

දෙවන අර්ධයේ දී ද ඔවුන් සිය සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දියත් කළ අතර ඒ අනුව ඔවුන්ගේ ලකුණු පුවරුවට තවත් ගෝල 2ක් එක්කර ගැනීමට ඔවුන් සමත් විය. එම ගෝල වාර්තා කර ගනු ලැබුවේ එම්. මුර්ෂිඩ් සහ එම්. රෂීඩ් විසිනි.

සම්පූර්ණ කාලය: සහිරා විද්‍යාලය 04 – 00 කිංස්වුඩ් විද්‍යාලය

ගෝල ලාභීන්

සහිරා විද්‍යාලය – එන්. එස්. හමාද් 22’, එච්. රාසා 28’, එම්. මුර්ෂිඩ් 51’, එම්. රෂීඩ් 75’

රතු කාඩ්පත්

කිංස්වුඩ් විද්‍යාලය – එම්. ඩී. ඩී. අවිශ්ක


තෙවන අර්ධ අවසන් පූර්ව තරගය: කින්නියා මධ්‍ය මහා විද්‍යාලය – සාන්ත පැට්‍රික් විද්‍යාලය

මෙම කණ්ඩායම් දෙක මීට පෙර 2016 වසරේ වයස අවුරුදු 18න් පහළ දෙවන කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී ද මුණ ගැසුණු අතර එම තරගය ජයග්‍රහණය කරනු ලැබුවේ සාන්ත පැට්‍රික් විද්‍යාලය යි. කෙසේ නමුත් මෙම තරගයට සාර්ථක ආරම්භයක් ලබාගත් කින්නියා මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් ගෝල ලබා ගැනීම ආරම්භ කරමින් තරගයේ 15 වන මිනිත්තුවේ දී ආර්. රිෆ්කාන් විසින් ගෝලයක් වාර්තා කරගනු ලැබීය.

කෙසේ නමුත් ඉන් අනතුරුව තරගයට අවතීර්ණ වූ සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගයේ 16 වන මිනිත්තුවේ දී හා 32 වන මිනිත්තුවේ දී ගෝල ද්විත්වයක් වාර්තා කරගනිමින් තරගයේ ඉදිරියට එන්නට සමත් විය. එම ගෝල වාර්තා කර ගනු ලැබුවේ ජේ. එන්. ක්‍රිස්ටීපන් සහ ඩී. එච්. හේන්ස් විසිනි.

පළමු අර්ධය: කින්නියා මධ්‍ය මහා විද්‍යාලය 01 – 02 සාන්ත පැට්‍රික් විද්‍යාලය

අනතුරුව දෙවන අර්ධයේ දී කණ්ඩායම් දෙකටම ගෝල රැස්කර ගැනීමට අවස්ථාව කිහිපයක්ම ලැබුණත් ඒවා සාර්ථක කරගන්නට දෙපිළේම ක්‍රීඩකයින් සමත් වූයේ නැත. ඒ අනුව තරගය ජයග්‍රහණය කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය.

සම්පූර්ණ කාලය: කින්නියා මධ්‍ය මහා විද්‍යාලය 01 – 02 සාන්ත පැට්‍රික් විද්‍යාලය

ගෝල ලාභීන්

කින්නියා මධ්‍ය මහා විද්‍යාලය – ආර්. රිෆ්කාන් 15’

සාන්ත පැට්‍රික් විද්‍යාලය – ජේ. එන්. ක්‍රිස්ටීපන් 16’, ඩී. එච්. හේන්ස් 32’

කහ කාඩ්පත්

සාන්ත පැට්‍රික් විද්‍යාලය – ඒ. ප්‍රීසන්

පාපන්දුලෝලීන්ගේ සිහිනයක් සැබෑ කරන්නට සියල්ල සූදානම්!

පාපන්දු ලෝක ශූරතා තරගාවලියේ කුසලාන චාරිකාව සිව්වැනි අදියර හරහා එම කුසලානය..

සිව්වන අර්ධ අවසන් පූර්ව තරගය: සාන්ත පීතර විද්‍යාලය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

තරගයට අවතීර්ණ වීම සඳහා කණ්ඩායම් දෙකම තරමක් කාලය ගතකළ නමුත් සාන්ත පීතර ක්‍රීඩකයින් ප්‍රතිවාදී මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින්ට වඩා ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් අනුගමනය කරන්නට විය. ඒ අනුව සාන්ත පීතර විද්‍යාලයේ ඩී. මැග්‍රාත් තරගයේ 30 වන මිනිත්තුවේ දී පහසු ගෝලයක් වාර්තා කර ගනිමින් සිය කණ්ඩායම පළමු අර්ධයේ දී තරගයේ ඉදිරියට රැගෙන එන්නට සමත් විය.

පළමු අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 01 – 00 මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

අනතුරුව දෙවන අර්ධයේ දී සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයින් මෙන්ම මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් ද දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරන්නට විය. ඒ අනුව දෙපිළේම ක්‍රීඩකයින් හට ගෝල වාර්තා කර ගැනීමට පහසු අවස්ථාවන් කිහිපයක්ම ලැබුණත්, අවසන් අවස්ථාවේ දී ඔවුන් ප්‍රදර්ශනය කළ දුර්වලතාවය හේතුවෙන් එම අවස්ථාවන් ඔවුන්ගෙන් අහිමිව ගියේය. අනතුරුව තරගය පුරාවට ඉතා දක්‍ෂ අන්දමින් ක්‍රීඩා කළ සාන්ත පීතර විද්‍යාලයේ එම්. ශබීර් දුර සිට ඉතා විශිෂ්ට ගෝලයක් වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: සාන්ත පීතර විද්‍යාලය 02 – 00 මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

ගෝල ලාභීන්

සාන්ත පීතර විද්‍යාලය – ඩී. මැග්‍රාත් 30’, එම්. ශබීර් 67’

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (25) ප.ව. 2 සිට එම ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට නියමිත ය.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<