සනත් කෑගහන්නේ මොකද? – තෙවැනි ඇසින්

2213

සනත් ජයසූරිය ගැන අප කොතෙකුත් කතා අසා ඇතත්, දැක ඇතත්, මේ දිනවල සමාජ ජාලා ආක්‍රමණය කර තිබෙන්නේ ඔහු විසින් ඔහුගේ පුත් රනුක ජයසූරිය සහ ඔහුගේ කණ්ඩායමට ක්‍රිකට් තරගයක් අතරතුර දී ලබා දෙන දැඩි අවවාද කිහිපයක් ඇතුළත් වීඩියෝවකි.

සනත් ජයසූරිය යනු…

@cricpics.files.wordpress.com – එය ගෞරවනීය යුගයකි.

ලොව එක්දින ක්‍රිකට් වෙනස් කළ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවා ඔහු ය. සනත් ජයසූරිය නමැති ආරම්භක පිතිකරුවා, දඟපන්දු යවන්නා සහ පන්දු රකින්නා ගැන සංඛ්‍යාත්මකව නැවත නැවතත් ඔප්පු කළ යුතු නැත. ඔහුගේ දේශීය පටබැඳි නාමය “වමත් කසකාරයා” ය, ජාත්‍යන්තර පටබැඳි නාමය “Master-Blaster” ය. ඔහු ගැන හඳුන්වා දෙන්නට එයම ප්‍රමාණවත් ය.

එහෙත් මේ වන විට සමාජ ජාලා අතර සැරිසරන සනත්ගේ දැඩි අවවාද දකින අතර සිහිවන සංවේදී කාරණය ඔහු පියෙකු බව ය. පියෙකුගේ යුතුකම දරුවන් වැදීම නොව හැදීම ය. අදාළ වීඩියෝවේ දැක්වෙන පරිදි සනත් ජයසූරිය නම් ලෝක පූජිත එක්දින පිතිකරුවාට ද තමන්ගේ දරුවාව “හැදීමේ වගකීම” එලෙසින්ම පැවරෙන බව අප තේරුම් ගත යුතුය. ක්‍රිකට් තරගයේ දී තමන්ගේ පුතු ඇතුළු කණ්ඩායම කිසිදු සැලසුමකින් තොරව ක්‍රීඩා කිරීම ගැන මුළු කණ්ඩායමම ඉදිරියේ සනත් බැනවදින්නේ කණ්ඩායමේ නායක වන තම පුතුට ය. ප්‍රථමයෙන් එය නරඹන්න.

දරුවන් “හැදීම”

දරුවන් හැදීම ගැන අද නොයෙකුත් මනෝ විද්‍යාත්මක පැටලුම් ඇතත්, දරුවන් හැදිය යුත්තේ කෙසේ ද යන්නට හොඳම උදාහරණය අපගේම පියවරුන් ය. ඕනෑවට වඩා දැඟලිලි සහ නැටිලි නොඉවසූ ඔවුන් අවශ්‍ය තැන දී අවශ්‍ය දඬුවම ලබා දුන්නේය. ඒ දඬුවම් නොලබන්නට අද අප කුමන ලෝකයක, කුමන සිර කඳවුරක, කුමන මඟක සිටිය හැකිව තිබුණේ දැයි අපිම නොදනිමු. එහෙත් එය තේරුම් ගන්නට අපට වසර ගණනක කාලයක් අවශ්‍ය වූ බව පිළිගත යුතුය.

ජිප්සීස් සංගීත කණ්ඩායම් නායක සුනිල් පෙරේරාගේ “තාත්තා මට ඇනපු ටොක්ක” නම් ගීතය සිහිවෙයි. එහි කියන පරිදිම “තාත්තා” නම් චරිතය කෙතරම් අපගේ ජීවිතවලට බලපෑම් එල්ල කරනවා දැයි අපට තේරුම් යන්නට අප වයසින් මුහුකුරා යා යුතුය. වයස අවුරුදු 05 දී අපට තාත්තා හැර වෙනත් වීරයෙකු නැත. අවුරුදු 10 දී තාත්තා සහ මනඃකල්පිත සුපිරි වීරයන් ද වීරයන් යැයි අපට සිතේ. අවුරුදු 15 දී තාත්තා නම් අපට කරදරයකි. අපට අවුරුදු 20දී තාත්තා දන්නා කිසිම දෙයක් නැත. සියල්ල දන්නේ අප ය. වයස අවුරුදු 25 දී තාත්තා කියූ දේවල් වලද එතරම් වරදක් නැතැයි සිතේ. අවුරුදු 30 දී තාත්තාව තේරෙන්නට පටන් ගන්නා විට ඔහු වෙනුවෙන් කළ හැකි දෑ අල්ප ය. වයස අවුරුදු 30න් එපිටට මුළු ජීවිතයම “තාත්තා කළ කී දෑ කෙතරම් සාධාරණදැ”යි අපට තේරුම් යන්නට පටන් ගන්නා යුගයයි. පියෙකු හරිහැටි තේරුම් ගන්නට පියෙකුම විය යුතුය.

ක්‍රිකට් ලොවේ මාස්ටර් බ්ලාස්ටර් – සනත් ජයසූරිය

වර්ෂ 1989 දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය….

එහෙත් ඒ වාසනාව සියලු දෙනාටම එක ලෙස ලැබී ඇතැයි මම නොකියමි. ඇතැම් පියවරුන් අපේ කතාවෙන් දුරස්ථ ය. ඇතැමුන්ට පිය සෙනෙහස ලැබීමේ වාසනාව ද නැතිව ගොස් ය. එහෙත් රනුක ජයසූරිය නම් හැදෙන වැඩෙන දරුවාට, සනත් ජයසූරිය නම් පියාගේ දැඩි අවවාද යටතේ ශික්ෂණය ලබන කාලය එළඹ ඇත්තේ ඔහුගේ වාසනාවට ය.

“ඔලුව පාවිච්චි කරන්න ඕන”

මා මේ ලිපියට ප්‍රස්තුත කර ගත් වීඩියෝව ඔබ නරඹන්නට ඇතැයි සිතමි.

“අම්පයර්ගෙන් අහනවා. කැප්ටන් නේ? පොඩ්ඩක් කල්පනා කරනවා! මෙයා කීය ද, මෙයා කීය ද… කවුද දැන් දාන්න ඕන දෙකක්… ඔලුව පාවිච්චි කරන්න ඕන මෙතන දී…”

සනත් මේ අයුරින් නායකයාට අවවාද කරන්නේ පන්දු වාර ගැන විය යුතුය. නායකයෙකුට තරගයක පන්දුවාර කළමනාකරණය කිරීම යනු මහත් රාජකාරියකි. තමන්ගේ දක්ෂතම පන්දු යවන්නන් වටා අනෙක් පන්දු යවන්නන් හසුරුවා ගැනීමට නායකයාට හැකි විය යුතුය. සීමිත පන්දුවාර තරගවල දී පන්දු යවන්නන්ගේ පන්දුවාර වලට සීමා පවතින නිසා ඔවුන් කළමනාකරණය කිරීම අත්‍යාවශ්‍ය වන අතරම කාල කළමනාකරණය ද අත්‍යාවශ්‍ය ය.

මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ පහතටම වැටී සිටින ශ්‍රී ලංකා ජාත්‍යන්තර කණ්ඩායමේ එක්දින නායකයන් සියලු දෙනාම මද පන්දු වාර වේගය නිසා පීඩා විඳිනු අපි දැක ඇත්තෙමු. එම නිසා ඔවුන්ට තරග තහනම්, දඩ නියම වෙනුද දුටිමු. එක්දින නායකයෙකුට ඇල් මැරුණු ස්වභාවයෙන් තරගයක් පාලනය කිරීමට නොහැකිය. ඔහු ක්‍රියාශීලී විය යුතුය. කළමනාකරණයෙහි දක්ෂ විය යුතුය.

“විකට් ගන්න හදන්න එපා”

“විකට් ගන්න හදන්න එපා. පුළුවන් තරම් මේඩ්න් ඕවර්ස් දාන්න. එතකොට මොකක්ද වෙන්නේ කියලා බලන්න… ඩොට් බෝල වැඩිපුර දාන්න. ඒක කරොත් ඉතුරු ටික නිකන්ම වෙයි.”

පන්දු යවන්නන් කඩුලු පෙරේතයන් විය යුතු නැත. එක පන්දුවකින් කඩුලු ලබා ගැනීමට නොහැකිය. සෑම පන්දුවකටම කඩුලු ලබන්නට ද නොහැකිය. ඊට පිතිකරුවන්ව සූදානම් කළ යුතුය. කඩුලු ලබාගන්නා පන්දු යවන්නන් කියා වෙනම කොටසක් සිටිය ද, ඔවුන්ද ලකුණු පාලනය කළ යුතුය. එක්දින ක්‍රීඩාවේ දී කඩුලු ලැබෙන්නේ එවිටයි.

@www.cricindeed.com – ශ්‍රී ලංකාවෙන් බිහි වූ සාර්ථකම වේගපන්දු යවන්නා

චමින්ද වාස්, මේ ගැන හොඳම උදාහරණ සපයන ශ්‍රී ලංකා වේගපන්දු යවන්නා ය. ඔහුට ජාත්‍යන්තර විස්තර විචාරකයන් ඇමතුවේ “Doctor death” කියා යි. වෛද්‍යවරයෙකු රෝගියෙකුට වැරදි උපදෙසක්, එන්නතක්, වැරදි ඖෂධයක් ලබා දුන් විට රෝගියා මියයන්නේ සෙමෙනි. වාස් ද ඒ ආකාරම දක්ෂයෙකි. ඔහුව කඩුලු ලබාගන්නා වේගපන්දු යවන්නෙකු වශයෙන් හැඳින්වුණේ මුල් ඕවර තුළ දී කඩුලු ලබාගන්නා නිසාම නොවේ. තරගයේ පළමු පන්දු වාර කිහිපයේ දී දෝලනය සහ සීම් වීම උපයෝගී කරගන්නා වාස්ගේ හොඳම දස්කම් දැකීමට නම් ඔබ ඔහුගේ දෙවැනි සහ තෙවැනි කැඳවීම් (Spells) වෙත අවධානය යොමු කළ යුතුය. මළ තණතීරු මත චමින්ද වාස් එතරම් සාර්ථක වූයේ ලකුණු පාලනය කිරීම සහ උපායශීලීව පිතිකරුවන්ව වරදට යොමුකරවන නිසයි.

ලකුණු පාලනය කිරීමේ දී දඟපන්දු යවන්නන් ප්‍රධාන වේ. ඕනෑම කණ්ඩායමක දඟපන්දු යවන්නන් සිටියි. ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ කඩුලු නොවේ. ඔබ මුත්තයියා මුරලිදරන්, ෂේන් වෝන් නොවේ නම් ඔබ අනිවාර්යයෙන්ම කළ යුත්තේ ලකුණු පාලනය කිරීමයි. එවිට ඔබට පහර එල්ල කරන්නට පිතිකරුවන් පෙළඹීම ඔබේ වාසියට යොදාගත හැක. ඔබට අද්භූත පන්දු අවශ්‍ය නැත. ඉම්රාන් තහීර්, රවිචන්ද්‍රන් අශ්වින්, ඉෂ් සෝධි වැනි වර්තමාන දඟපන්දු යවන්නන් මීට හොඳම උදාහරණයි. එසේත් නැතිනම් ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභී වමත් දඟපන්දු යවන්නා, රංගන හේරත් දෙස බලන්න. ඔබට බලෙන් කඩුලු ලබාගත නොහැකිය.

සනත් ජයසූරිය නම් උදාහරණය ගැන කෙටියෙන් කිවහොත්, ඔහු එක්දින කඩුලු 300 පසු කළ පන්දු යවන්නෙකු වූයේ මුරලි, වාස්, ධර්මසේන, උපුල් චන්දන වැනි කඩුලු ලබාගන්නා පන්දු යවන්නන් කණ්ඩායමේ සිටිය දීයි. ඒ කෙසේ ද? ලකුණු පාලනය කිරීමෙනි. ඔහුට දුස්රා හෝ අද්භූත කිසිදු පන්දුවක් තිබුණේ නැත. සනත් තම පුතුට ලබා දෙන්නේ ඒ අත්දැකීමෙන් ලබාදෙන ඔවදනයි. වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ට 10 වැනි පන්දුවාරයේ සිට 45 වැනි පන්දුවාරය දක්වා කඩුලු ලබාගැනීමේ අපහසුවක් පවතින්නේ මක් නිසාදැයි දැන් ඔබට පැහැදිලි ද?

“බෝල හතරක් දැම්මට පස්සේ…”

“ඇයි බෝල හතරක් දැම්මට පස්සේ 4 නවත්තගන්න බැරි? මෙතනින් කියනකම් ඉන්න ඕන ද? ඔයාට මොළයක් නැද්ද බෝල හතරක් දැම්මට පස්සේ ඊළඟ 4 නවත්තගන්න?”

සනත්ගේ අවවාද අතර මෙය මා සිත්ගත් අවවාදයකි. පන්දු වාරයක පළමු පන්දු හතර අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ යැවීම යනු පන්දු යවන්නෙකුගේ පෞද්ගලික ජයග්‍රහණයකි. එහෙත් එය සම්පූර්ණ කර ගත හැකිවන්නේ මීළඟ පන්දු දෙක කෙසේ යවන්නේ ද යන්න මතයි. ලකුණු දෙකක් පමණ ලබා දුන් පළමු පන්දු හතරෙන් පසු ඔබ මීළඟ පන්දු දෙකේ දී කඩුල්ලක් බලාපොරොත්තු වන්නේ නම් ඔබ තරම් මෝඩයෙකු ක්‍රිකට් පිටිය මත නැත. කඩුලු පිළිබඳ ආශාවෙන් ඔබ ඉලක්කය වෙනස් කොට “වැඩිවැඩ” කරන්නට ගියහොත් ඔබ පන්දු හතරක් තුළ කළ සියලු හොඳ මැකී යයි. මෙය හොඳින් මනසින් මවාගන්න.

පන්දු හතරකට පිතිකරු ලබා ඇත්තේ ලකුණු 2ක් පමණි. ලකුණු නොලැබූ පීඩනය දැන් ඇත්තේ පිතිකරු වෙතයි. පන්දු යවන්නා කඩුලු පෙරේතයෙකු නොවිය යුතු බව මා පෙර ද සඳහන් කළේ එබැවිනි. එසේ නම් ඔබ දක්ෂ විය යුත්තේ මීළඟ පන්දුවේ දී එක් ලකුණක් ලබා දීමට හෝ ලකුණක් ලබා නොදීමට ය. පස්වැනි පන්දුවේ දී ඔබ එක් ලකුණක් ලබා දුන් විට ප්‍රතිවාදීන් ඔබෙන් සොරාගෙන ඇත්තේ ලකුණු 3කි. දැන් අවසන් පන්දුවට පහර දෙන්නේ අනෙක් අන්තයේ සිටි පිතිකරු ය. ඔහු සනත් ජයසූරිය හෝ ෂහීඩ් අෆ්රිඩි හෝ ඒ. බී. ඩිවිලියර්ස් නොවේ නම්, ඔබ අමුතුවෙන් කුමක් හෝ කළ යුතු නැත. කඩුලු හෝ ලකුණු ගැන නොතකා නිසි ඉලක්කයට පන්දු යවන්න. පළමු පන්දු හතරෙන් පන්දු ඕවරයේම ජයග්‍රහණය තමන් සතුවූවේයැයි ඔබ සිතන්නේ නම් එහි දී ම ඔබ පැරදී හමාර ය. පන්දු යවන්නෙකු කපටියෙකු විය යුතු යැයි මා පුනපුනා කියන්නේ එබැවිනි. ශ්‍රී ලංකාව මෑත දී සහභාගී වූ එක්දින තරගවල දී අප දුටු පන්දු හතරේ දක්ෂතා ගණන මෙතෙකැයි කිව නොහැක. එහෙත් ඔවුන්ට තිබුණු අදක්ෂතාවය නම් අවසන් පන්දු දෙක යැවීමේ අදක්ෂතාවයයි. සනත් වැනි පුහුණුකරුවෙකු රනුක ඇතුළු කණ්ඩායමට ලැබීම වාසනාවකි.

“පේන් එකත් එක්ක තමයි සෙල්ලම් කරන්නේ”

“සීතලයි කියලා කවුරුත් දන්නවනේ. අපිට දැනගන්න ඕන නෑ අතේ වැදුනම රිදෙනවයි කියලා. රිදෙනවා නම් ඇතුලට වෙලා ඉන්න. පේන් එකත් එක්ක තමයි සෙල්ලම් කරන්නේ.”

1999 දී බ්‍රෙන්ඩන් ජූලියන් යැවූ පන්දුවකින් සනත් ජයසූරියගේ අත කැඩී ගියේ මෙලෙසිනි.

සනත් මෙසේ කියන්නේ කුඩා ක්‍රීඩකයන් ඔවුන් තරගය ක්‍රීඩා කරමින් සිටින ශීත දේශගුණ තත්වය නිසා පන්දුව අතේ වැදුණු විට අත් ගසා දැමීම සිදු කරන බැවිනි. ශීත දේශගුණයක දී ලෙදර් පන්දුව රැකගැනීම පහසු කටයුත්තක් නොවේ. එහෙත් එය දරා ගැනීමට නොහැකි නම් ක්‍රිකට් නම් ක්‍රීඩාව ඔබට කළ නොහැකිය. ක්‍රීඩාවට ඇලුම් කරන්නේ නම් වේදනාව දරාගත යුතුය. වත්මන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට නම් වේදනාව ගැන අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් සනත්ගේ අවවාදය ක්‍රීඩකයන්ට ය. කුඩා, යොවුන්, තරුණ, වැඩිහිටි ක්‍රීඩකයන්ට ය.

“එන්ජෝයි කරන්න”

“හොඳට එන්ජෝයි කරන්න! කිසි ප්‍රෙෂර් එකක් නෑ මැච් එකේ. රිලැක්ස් කරන්න.”

සනත්ලා, මාවන්ලා, වාස්ලා, මුරලිලා ක්‍රීඩා කළේ එහෙම ය. ඔවුන් රසවින්දේ ක්‍රීඩාවයි. සනත් විසින් මේ දරුවන්ට කියා සිටින්නේ ක්‍රීඩාව රසවිඳිමින් ක්‍රීඩා කළ යුතු බවයි. අනවශ්‍ය පීඩනයක් පටවා ගත යුතු නොවන බවයි. ක්‍රීඩාව රසවිඳිය හැක්කේ ක්‍රීඩාංගණය තුළ දී ය. ප්‍රේක්ෂක අපට ද තරග රසවිඳිය හැක්කේ එවිට ය. ක්‍රීඩාංගණයෙන් පිටත “එන්ජෝයි” කිරීම් වලින් ප්‍රේක්ෂක අපට හෝ ක්‍රීඩාවට වැඩක් නැත.

ඒ කුඩා කණ්ඩායමට අවසන් පන්දුවාර 15 දී ලකුණු 50ක් පමණ බේරාගැනීමට තිබිය දී සනත් ජයසූරිය නම් ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයා විසින් ලබා දුන් අවවාද දෙස තෙවැනි ඇසින් බැලීම වටියි. පන්දුවාර 50ක දී ලකුණු 350ක් වත් රැකගැනීමට නොහැකි මට්ටමක අපගේ ජාතික කණ්ඩායම සිටිය දී සනත්ගේ මේ අවවාද කුඩා ක්‍රීඩකයන්ට අතිශය වැදගත් විය හැකිය. මේ මොහොතේ සියලු දෙනාම කුඩා ක්‍රීඩකයන් ය.

“ෆිට්නස්” ගැන අතුලගේ සංවේදී මතකය

ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ඉතා දුෂ්කර මූල්‍ය අවධීන් පසුකරමින් ඉදිරියට පැමිණි ක්‍රිකට් ක්ෂේත්‍රයකි….

ශ්‍රී ලංකාවේ අපට ගෞරවනීය ක්‍රිකට් ඉතිහාසයක් ඇත. එය අඩු පහසුකම් මැද ගොඩනැගී වැඩි පහසුකම් තෙක් ආ ගමනකි. මෙරට බලධාරි අර්බුද කවදත් නොවෙනස්ව තිබුණ ද, ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් ගෞරවයෙන් ඇදහීමට ලක්වූවන් ය. එය වෙනස් වෙමින් පවතියි. එය “සනත් ජයසූරිය”ලාට ලැජ්ජාවකි. සනත්ගේ දරු පරපුර මෙසේ හෑල්ලු වනවාට සනත් පමණක් නොව අප ද අකමැති ය. සනත් කෑ ගහන්නේ ඒක ය. ඒ අවවාද හදවතින් රැගෙන ගොඩනැගෙන පරපුරක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් යළි නිසි තැන තබන දිනය එනතෙක් අපි බලා සිටින්නෙමු.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<