විශාඛාවන්ට සහ ජෝසප්වරුන්ට වැඩි ගෞරව

186

මෙම වසර සඳහා වන 10km විවෘත ජලජ පිහිනුම් ශූරතාවලිය පසුගිය ඉරිදා (17) කොළඹ ගාලු මුවදොර දී නිමාව දුටුවේ කොළඹ විශාඛා විද්‍යාලයේ සෙනේෂි හේරත් සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ රශේන් දිල්ෂාන් වැඩි ගෞරව හිමිකර ගනිමිනි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

කි.මී. 10ක තරගය තරගාවලිය තුළ තිබූ අසීරුතම තරග ඉසව්ව වූ බැවින් බොහෝ තරගකරුවන් එය අවසන් කිරීමට පවා අසමත් වූ අතර එහි දී තරගය නිමා කළ තරගකරුවන් 22ක් අභිබවමින් පිරිමි අංශයේ ශූරතාවය දිනා ගනු ලැබුවේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ රශේන් දිල්ෂාන් විසිනුයි.  

ඒ අනුව එම තරග ඉසව්ව ආරම්භයේ දී තරගකරුවන් 58 දෙනෙක් ඊට සහභාගී වුවත් එය අවසන් කිරීමට සමත් වූයේ තරගකරුවන් 22ක් පමණි. රශේන් දිල්ෂාන් එහි දී ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවේ පැය 2:29.19ක කාලයක් වාර්තා කර ගනිමිනි. ඔහුට හොඳ තරගයක් ලබා දුන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඩී. එම්. ගුණසේන පැය 2:30.43ක කාලයක් වාර්තා කරමින් එහි දෙවන ස්ථානය දිනා ගන්නට සමත් විය.

එහි ඉතිරි ස්ථාන 6ම දිනා ගන්නට යුද හමුදා ක්‍රීඩකයින් සමත් වූ අතර පැය 2:33.28ක කාලයක් වාර්තා කර ගත් ඒ. එස්. අබේසිංහ, පැය 2:33.59ක කාලයක් වාර්තා කර ගත් එස්. අයි. ද සිල්වා සහ පැය 2:34.12ක කාලයක් වාර්තා කර ගත් ජේ. එන්. අස්සජී පිළිවෙළින් පළමු ස්ථාන 5 අතරට පැමිණෙන්නට සමත් වූහ.

Video – සති තුනෙන් ලංකාවට රන් පදක්කම් තුනක් දිනා ගත් කිමිදුම් විරුවා

නොවැම්බර් මස ගෝල්ඩ් කෝස්ට් පැවති පෑන් පැසිෆික් මාස්ටර්ස් ගේම්ස් 2018, කිමිදුම් ඉසව්වේ දී රන් …

කෙසේ නමුත් මෙම වසර ආරම්භයේ දී පැවති 5km විවෘත ජලජ පිහිනුම් ශූරතාවලියේ දී තරග ඉසව්ව අවසන් කළ තරගකරුවන් 91 දෙනෙක් අතරින් රශේන් දිල්ෂාන් හට හිමි වූයේ 10 වන ස්ථානය යි.

අනෙක් පසින් එහි කාන්තා ඉසව්ව සඳහා තරගකාරිනියන් 15 දෙනෙක් සහභාගී වූ නමුත් එය අවසන් කරන්නට සමත් වූයේ තරගකාරිනියන් 3 දෙනෙක් පමණි. කොළඹ විශාඛා විද්‍යාලයේ ජනේත්‍රී කළුවර්ධන පැය 2:53.16ක කාලයක් වාර්තා කර ගනිමින් සහ ‘DCA’හි අනර්කලී ද සිල්වා පැය 3:01.33ක කාලයක් වාර්තා කර ගනිමින් පිළිවෙළින් එහි දෙවන හා තෙවන ස්ථාන දිනා ගැනීමට සමත් වූහ. පැය 2:46.28ක කාලයක් වාර්තා කරගනිමින් ප්‍රථම ස්ථානයට හිමිකම් කියමින් එහි ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ කොළඹ විශාඛා විද්‍යාලයේ සෙනේෂි හේරත් ය.

මෙම මාසය ආරම්භයේ දී පැවති ධර්මාශෝක ක්‍රීඩා සංගමය මඟින් සංවිධානය කරනු ලැබූ සැතපුම් 2 පිහිනුම් තරගයේ දී ද පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ ද සෙනේෂි ය.

දිවයින තුළ මීළඟට පැවැත්වෙන විවෘත ජලජ පිහිනුම් තරගය ලෙස 82 වන වරට පැවැත්වෙන වාර්ෂික සැතපුම් 2 මුහුදු පිහිනුම් තරගය එළඹෙන මාර්තු මස 03 වන දින ගල්කිස්ස මුහුදු තීරයේ දී පැවැත්වීමට නියමිතයි.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<